ශ්‍රී ලංකන් ප්‍රමාදයට ගුවන් සමාගමේ පරිපාලනය වගකිව යුතුයි – ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

124

25 උදෑසන සේවයට වාර්තා නොකළ සැමටම විනය පියවර ගත යුතුයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් හතරක් ඉකුත් 25 වැනිදා උදෑසන ප්‍රමාදවීම නිසා ගුවන් මගීන්ට ඇතිවූ අපහසුතාවට ගුවන් සමාගමේ පරිපාලනය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඒ සඳහා ගුවන් මගීන්ගෙන් සමාව ඉල්ලා සිටීමෙන් ඇති ඵලක් නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පරිපාලනය සහ වෘත්තීය සමිති සමග වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේදී ඊයේ (26දා) පැවති මාධ්‍ය හමුවේදීය. එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

එදා උදේ කටුනායකින් පිටත්වීමට තිබූ ගුවන් යානා හතරෙන් තුනකම කාර්මික දෝෂලු. අනෙක් ගුවන්යානයේ මීයෙක් හිටියාලු. මේ කාර්මික දෝෂ ඇතිවුණේ එදා උදේ නෙමෙයිනෙ. මීයෙක් සිටියා යැයි කියන ගුවන්යානය පාකිස්තානයේ ලාහෝර් සිට කටුනායකට පැමිණ ඇත්තේ පසුගිය 21 වැනිදා. එදා සිට 25 වැනිදා දක්වා එම ගුවන්යානය පියාසර කළේ නැතිද? මීයෙක් සිටියා නම් ඒ සඳහා පියවර ගන්න ඕනෑ තරම් නවීන තාක්‍ෂණික ක්‍රමවේද තියෙනවා. ඒවා පාවිච්චි නොකළේ ඇයි?

මේ සියල්ලටම හේතුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අවිධිමත් පරිපාලනයයි.

ගුවන් සමාගමේ සේවකයන්ගේ අඩුපාඩුවක් නැහැ. අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගන්න මම අවසර ලබා දුන්නා. ගුවන්තොටුපොළ මෙහෙයුම් කටයුතු සඳහා පුරප්පාඩුව තිබුණා යැයි කියූ සේවකයන් 180ක් බඳවා ගන්න මම පරිපාලනයට අවසර දුන්නා.

25 වැනිදා උදෑසන සේවයට වාර්තා නොකළ සියලුම කාර්ය මණ්ඩලයට එරෙහිව විනය පියවර ගත යුතුයි. ඒ අය නිසි රාජකාරි සඳහා නියමිත පරිදි වාර්තා කර නැත්නම් ඉවත් කරන්න පියවර ගත යුතුයි. සේවකයන්ගේ කැපවීමක් නැති නම් ගුවන් සමාගම ගොඩගන්න බැහැ.

ගුවන් සමාගමේ වෘත්තීය සමිති සහ පරිපාලනයේ දුර්වල කළමනාකාරිත්වය නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ජාත්‍යන්තරව පවතින කීර්තිය හානියට ලක්ව තිබෙනවා. එනිසා කිසිම සමාගමක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගන්න එන්නේ නැහැ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment