ශ්‍රී ලංකාවේ උද්ධමනය හරියට කියවා ගනිමු

685

දේශපාලන අර්බුදය, ආණ්ඩුක්‍රම අර්බුදය, විදේශ විනිමය අර්බුදය, ණය අර්බුදය, රාජ්‍ය අය-වැය අර්බුදය, කෘෂිකාර්මික අර්බුදය, ආදායම් විෂමතා අර්බුදය යන සප්ත මහා අර්බුද ජංජාලයකින් බැට කමින් සිටින අපි අසාමාන්‍ය හා බරපතළ ව්‍යසනයකට මුහුණ පා සිටින්නෙමු. භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉහළයෑම හා විරැකියාව යන දෙකම, එකවර ඉහළ මට්ටමකට පත්වී තිබෙන උභතෝකෝටිකයකට මුහුණ පා සිටින්නෙමු. එය රථයක් ඉස්සරහට පදවන ගියර් එකත්, පිටිපස්සට පදවන ගියර් එකත්, එකවර ක්‍රියාත්මක කිරීමක් වැනිය. අද අප මුහුණ පා සිටින්නේ හැකිළෙන ආර්ථිකයක් තුළ පුද්ගල ආදායම් පහළ වැටෙන ගමන්ම භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යෑමකට යි. මේ වූකලී අසාමාන්‍ය තත්ත්වයකි.

ඒක පාර්ශ්වීය නඩු තීන්දුවක් – උද්ධමනය 1.3% යි.

සාමාන්‍ය තත්ත්වයන් යටතේ කරන කියන බොහෝ දේ අසාමාන්‍ය තත්ත්වයන් පවතිනවිට දී වලංගු වන්නේ නැත. කරන්නන් වාලේ උද්ධමන අනුපාතය ගණන් බලා ආර්ථිකය ගැන තීන්දු ප්‍රකාශයට පත් කිරීමද එවැන්නකි. උද්ධමන අනුපාතය ඉහළ පහළ යන රිද්මය දෙස බැලීමෙන්, භාණ්ඩ හා සේවාවන්හි පොදු මිල මට්ටම සාමාන්‍ය ජන ජීවිතයට බලපාන ආකාරය ගැන අවබෝධයක් ලබා ගත හැකිය. 2022 සැප්තැම්බර් මාසයේ 70% ක්ව පැවති උද්ධමන අනුපාතය, 2023 සැප්තැම්බරයේදීු 1.3% ට බස්සවා තිබීමේ හෙවත් උද්ධමනය මෙල්ල කිරීමේ කථාව, ජීවිතය ගැටගසා ගැනීමට ඉහල නැගි මිල ගණන් සමග පොර බදන, බහුතරයක් වූ සාමාන්‍ය ජනතාවගේ නොනවතින සුසුම්ලෑම සමග ගලපා ගන්නේ කොහොමද? මාස එකොළහක් වැනි කෙටි කාලයකින් උද්ධමනය 70% න් 1% ට බැස්සවීමේ විශ්මය ජනක හාස්කමින් පසු ජනතාව දැන් සනීපෙන්ද? උද්ධමන අනුපාතය පහත හෙළා ඇති බවට නගන පුරසාරම, අතක් පයක් තබා කටක්වත් හොල්ලන්නේ නැති මිනිසුන් පිරිසක් ඉදිරියේ “ගණන්කාරයෙකු” කරන නන්දෙඩවිල්ලක් බඳුය.

උද්ධමන අනුපාතයේ පහළ බැසීමක්, මිල පහළ බැසීමක් සමග අනිවාර්යයෙන්ම සමපාත විය යුතු නැත. භාණ්ඩ හා සේවා මිල ගණන්හි පහත බැසීමක් බලාපොරොත්තු විය හැක්කේ මිල ඉහළ නැගීම තාවකාලික ප%පංචයක් වන්නේ නම් පමණකි. එසේ නොවන විට, එනම් බොහෝවිට, මිල පහළ බසින්නේ නැත. ඒ වෙනුවට ජන ජීවිතයේ “සමතුලිත බවක්” ඇතිවන්නේ ජීවන ගමනේ අනෙක් ප%ධාන පාර්ශ්වකරු වන ආදායම් මට්ටම ඉහළ යෑමකිනි. එමනිසා සමාජ-ආර්ථික වශයෙන් අර්ථවත් වන්නේ ආදායම් මට්ටමේ හා මිල මට්ටමේ සංයෝජනයකින් සාදා ගන්නා මිනුමකි. ආදායම් මට්ටමේ ඉහළ හෝ පහළ යෑම ගැන කිසිවක් කථා නොකර උද්ධමන අනුපාතයේ ඉහළ හෝ පහළ යෑම ගැන පමණක් කථා කිරීම, ඒකපාර්ශ්වීය නඩු තීන්දුවක් හා සමානය.

ශ්‍රී ලංකාවේ උද්ධමනය හරියට කියවා ගනිමු

රෝග විනිශ්චය හරිද?

අර්බුද ජංජාලයේ බරපතළම ප%තිවිපාකය වූයේ ආර්ථිකය හැකිළී යෑමයි. එහි එක් රෝග ලක්ෂණයක් වූ උද්ධමනය පාලනය කිරීමට, 2022 වර්ෂයේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා මහ බැංකුව “පොලී අනුපාත” නමැති වජ්‍රායුධයෙන් පහර දෙන්නට පටන් ගත්තේය. එම පහරින් සතුරා නොනැසින. උද්ධමනය 1% ට බස්සවා ඇතැයි ප්‍රකාශ කළද, යථාර්ථය නම් මේ ලිපියේ පහත විග්‍රහකර තිබෙන පරිදි එය තාමත් 70% මට්ටමේ පවතින බවයි. මේ වූකලී මුදල් සැපයුම සීමාකර ආර්ථිකය හකුළුවාලීමේ උපාය මාර්ගයෙන් ජය ගතහැකිව තිබුණ යුද්ධයක් නොවේ. එසේ කරන්නට තැත්කිරීම සමාන වූයේ ඉන්ධන සැපයුම සීමාකර නගරයක වාහන තදබදය පාලනය කිරීම වැන්නකට ය.

පොලී අනුපාත වැඩිකිරීම පිළියමක් වන්නේ භාණ්ඩ හා සේවා සඳහා වන අධි ඉල්ලුමකින් උච්චස්ථානයකට අදිනු ලැබ ඇති (demand pull) උද්ධමනයකටය. එහෙත් අප මුහුණපෑ උද්ධමනය ඇති වූයේ ප්‍රධාන වශයෙන්ම සැපයුම්දාමය (supply chain) විසන්ධි වීමෙන් හා බිඳ වැටීමෙනි. ඉල්ලුමෙහි වූ කිසියම් ඉහළ නැගීමක් (elevated demand) මගින් සැපයුම් ඌනතාවක් ඇති කර තිබේ යැයි කියන්නට නොපිළිවන. භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම අවම යැපුම් මට්ටමිනුත් පහළට ඇද වැටී තිබේ. අප පැමිණ තිබෙන්නේ සමස්ත ඉල්ලුම (aggregate demand) සහ සමස්ත සැපයුම (aggregate supply) යන දෙකම පහත වැටුන තැනකටය.

අධි ඉල්ලුමක් ඇතිවිය හැකිව තිබුණේ, 2020 ජනවාරියේදී බල ගැන්වූ, රුපියල් බිලියන 600 ක් පමණ රාජ්‍ය ආදායම අහිමි කරගත්, බදු කප්පාදුව හේතුවෙන් අත ඉතිරි වූ වැය කළ හැකි ආදායම (disposable income) ඉහළ ගිය, මධ්‍යම පාංතිකයන්ගේ ඉල්ලුම නිසාය. මෙහි සෘජු බලපෑම දැනුනේ නිවාස ඉදිකිරීම, වාහන මිලට ගැනීම, විදේශ අධ්‍යාපනය, විනෝදාස්වාදය යන අංශ වලට ය. ඊට අමතරව, අහිමි වූ ආදායම පියවා ගැනීමට රජය ණය වෙමින් ලබාගත් මුදල් වියදම් කිරීමේදී, මුදල් සැපයුම වැඩි වීමද උද්ධමනය ඉහළ යෑමට තල්ලුවක් විය.

භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉහළ යෑමට බලපෑ හේතු සාධක විවිධය. පොදු මිල මට්ටමේ වාර්ෂික උද්ධමනය 70% ක් වූ 2022 සැප්තැම්බරයේදී, ආහාර දව්‍ය කාණ්ඩයේ මිල උද්ධමනය 95% ක් විය. ඊට බලපෑ ප්‍රධාන හේතුව අතාර්කික කෘෂිකර්ම ප්‍රතිපත්තියයි. විස්තීරණ හේතු සාධක විශ්ලේෂණයකට නොගොස් පොදු මිල මට්ටමේ සාමාන්‍ය වැඩිවීම (70%) දෙස බලා කරන ලද පොලී අනුපාත නැංවීමේ ප්‍රතිකර්මය, කලබලයක් මැඬ පැවැත්වීමට අහසට වෙඩි තැබීමක් බඳු විය. එවැනි ප%තිකර්ම වලින් සිදුවූයේ ආර්ථිකය තවදුරටත් හැකිළී යෑමයි.

උද්ධමනය ගණන් බැලීම

කථාව පටන් ගතයුත්තේ භාණ්ඩ හා සේවාවන්හි පොදු මිල මට්ටම නිරූපණය කරන පාරිභෝගික මිල දර්ශකය ඉහළ නැගීමට පටන් ගත්, මහා ව්‍යසනයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකිය හැකි 2021 සැප්තැම්බරයෙනි. (ව්‍යසනයේ මූලාරම්භය 2021 සැප්තැම්බර් බවක් මෙයින් අදහස් නොකෙරේ). 2022 මාර්තු මාසයේදී රුපියල පාවෙන්නට ඉඩ හැරීමත් සමග පාරිභෝගික මිල දර්ශකය වඩා ශීඝ%යෙන් ඉහළට

නගින්නට පටන් ගත්තේය. 2022 සැප්තැම්බර් වන විට කඳුමුදුනට නැගගත් මිල දර්ශකය, දැන් සුළු ප%මාණ වලින් අඩු වැඩි වෙමින්, කඳු මුදුනේම එක තලයක (සානුවක) ගමන් කරයි. භාණ්ඩ හා සේවා මිල දර්ශක තව දුරටත් ඉහළ නොගොස් කඳු මුදුනේ රැඳී තිබෙනතාක් කල්, අද ගණන් බලන ආකාරයේ උද්ධමනය වැඩි වන්නේ නැත. ක%මයෙන් අඩුවී, අවසානයේ බිංදුවටත්, ඊට පසු සෘණ අගයකටත්, පත්වීමට වුවද පිළිවන. පහත සඳහන් ප%ස්ථාර සටහන බලන්න. (වම් පස පරිමාණයෙන් මිල දර්ශකයද දකුණු පස පරිමාණයෙන් උද්ධමන අනුපාතයද දැක්වේ).

වාර්ෂික උද්ධමනය මනිනු ලබන්නේ, කිසියම් මාසයක පාරිභෝගික මිල දර්ශකයෙන්, ඊට වර්ෂයකට පෙර මිල දර්ශකය අඩුකිරීමෙන් ලැබෙන සංඛ්‍යාව, එකී පෙර වර්ෂයේ මිල දර්ශකයෙන් බෙදා 100 න් වැඩි කිරීමෙනි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 ජනවාරි මාසයේ සිට කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය සඳහා යොදාගත් පදනම් වර්ෂය 2013 සිට 2021 දක්වා වෙනස් කර තිබේ. ඉහත දක්වා තිබෙන ප%ස්තාරය සඳහා යොදාගෙන ඇත්තේ 2013 ු 100 මිල දර්ශක ය. (2022 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති පදනම් වර්ෂ දෙකටම සම්බන්ධ මිල දර්ශක යොදාගෙන පදනම් වර්ෂ අතර පරිවර්තනය කරන ලදී). 2022 සැප්තැම්බර් මාසයේ වාර්ෂික උද්ධමන අනුපාතය 70%ක් ලෙස ගණනය කරන්නේ කඳු මුදුනේ තිබෙන 2022 සැප්තැම්බර් මාසයේ මිල දර්ශකයෙන් (245) කඳු පාමුල තිබෙන 2021 සැප්තැම්බර් මාසයේ මිල දර්ශකය (144) අඩුකිරීමෙන් ලැබෙන උත්තරය 144 න් බෙදා 100 න් වැඩි කිරීමෙනි. 2023 සැප්තැම්බර් මාසයේ වාර්ෂික උද්ධමන අනුපාතය 1% ක් ලෙස ගණනය කරන්නේ දර්ශක දෙකම කඳු මුදුනේ තිබෙන 2023 හා 2022 සැප්තැම්බර් මාස වල මිල දර්ශක වන 246 හා 245 සැසඳීමෙනි.

පාසල් සිසුන්ගේ ගණිතමයප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මෙම ගණන් බැලීම කරනු ලැබුවේ නම් සීයෙන් සීයම ලකුණු ලැබෙනවා ඇත. නමුත් අයින්ස්ටයින් කියා ඇතිවාක් මෙන්, ගණන් ගතයුතු හැමදේම ගණන් බැලිය නොහැකි අතර, ගණන් බැලීමට හැකි හැම දේකම ගණන් ගත යුත්තක් නැත. මේ උද්ධමන අනුපාතයන් දෙස බැලූවිට ඒ බව තහවුරු වේ.

2022 සැප්තැම්බර් මාසයේ සිට පොදු මිල මට්ටමේ යම් ස්ථාවර භාවයක් පෙන්වයි. උද්ධමනය හෙවත් පොදු මිල මට්ටම වැඩිවීමේ ශීඝ%තාව පාලනය වී ඇත. එයින් හැඟවෙන්නේ මිල ස්ථායිකරණය වීමකි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ නම්, මිල ස්ථායිකරණය වීමෙන් බලාපොරොත්තු වන්නේ, ජන ජීවිතය යථා තත්ත්වයට පත් වීමකි. එසේ වීමට නම්, අඩුම තරමින් මිල ගණන් ඉහළ නැගීමට පෙර තිබුණ තත්ත්වයට, ජන ජීවිතය පත්වී තිබිය යුතුය. පාරිභෝගික මිල දර්ශකය කඳු මුදුනේ ස්ථාවර වී තිබුණද, ආදායම් මට්ටම තවම කඳු පාමුලය. 2021 සැප්තැම්බරයේ තිබුණ තැන හෝ ඊටත් පහළය.

නැවත සැකසූ උද්ධමන සමීකරණය

වාර්ෂික උද්ධමන අනුපාතය ගණන් බලන්නේ කිසියම් වර්ෂයක මුල හා අග මාස වල මිල දර්ශක සැසඳීමෙන් බව ඉහත සඳහන් කෙරුණි. ශ්‍රී ලංකාවේ අප, අද මුහුණ පා සිටින අසාමාන්‍ය තත්ත්වය හමුවේ උද්ධමනය ගණන් බැලීමේදී “වර්ෂය” යන කාල සීමාව යොදා ගැනීම නොමග යවන සුළුය. මක් නිසාද? වත්මන් අර්බුදයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකිය හැකි 2021 සැප්තැම්බර් මාසයේ සිට වර්ෂ දෙකකටත් වැඩි කාලයක් ගතවී තිබෙන අද දක්වාම, භාණ්ඩ හා සේවා මිල ගණන් වල වෙනස් වීමට අනුරූපී වන සමාන්තර චලනයක්, ආදායම් මට්ටමේ ඇතිවී නැති නිසාය.

පවත්නා මිල ගණන් වලට (current market prices) සකස්කර තිබෙන පසුගිය වර්ෂවල දළ දේශීය නිෂ්පාදිතය හා දළ ජාතික ආදායම ඇතුළත් ජාතික ගිණුම් සහ ඒවායේ විවිධ ආදායම් සංරචකයන් පරීක්ෂා කළවිට මේ බව තහවුරු වේ. ස්ථාවර මිල ගණන් වලට අනුව සකස් කර තිබෙන ජාතික ගිණුම් පෙන්නුම් කරන්නේ ආර්ථිකයේ හැකිළීමකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් දර්ශකවලට අනුව 2021 සැප්තැම්බර් මාසයේ සිට 2023 අගෝස්තු මාසය දක්වා රාජ්‍ය අංශයේ වැටුප් වැඩි වී ඇත්තේ 16.1% කින් වන අතර පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වී ඇත්තේ 0.6% කින් පමණකි.

එම නිසා අර්ථවත් වන්නේ සහ යුක්ති සහගත වන්නේ සංසන්දනය කිරීමට යොදා ගන්නා මුල් මාසය (මුලාංකය) 2021 සැප්තැම්බර් ලෙස ගැනීමය. එතැන් සිට මාස 24 ක් ගතවී ඇති 2023 සැප්තැම්බර් මාසයේදීත් උද්ධමන අනුපාතය 70% හි පවතින බවත්, 1% ට අඩුවීමේ කථාව හිස් බෙර පදයක් පමණක් බවත්, එවිට පෙනී යනවා ඇත. 2023 සැප්තැම්බර් මාසයේ මිල දර්ශකයෙන් (246) 2021 සැප්තැම්බර් මාසයේ මිල දර්ශකය :144* අඩුකර ලැබෙන උත්තරය 144 න් බෙදා 100 න් වැඩිකිරීමෙන් 2023 සැප්තැම්බර් මාසය සඳහා වන නැවත සැකසූ උද්ධමන අනුපාතය (70%) ලැබේ.

ගණන් ගතයුතු දේ ගණන් බැලීම

කෙනෙකුගේ ආදායම හා වියදම යන විචල්‍යයන් දෙකම නියෝජනය වන පරිදි, පාරිභෝගික මිල දර්ශකය හා ආදායම් දර්ශකය සංයෝජනය කිරීමෙන්, අපට මහජනයාගේ ආර්ථික සෞඛ්‍යය පෙන්නුම් කරන ඇඟවීමේ මිනුමක් (indicative measure) ලෙස, යහපැවත්මේ (wellbeing) දර්ශකයක් සාදා ගතහැකි ය. ලාභ, අලාභ, යස, අයස, නින්දාව, ප%සංසාව, සැප, දුක යන අෂ්ට ලෝක ධර්මතාවන් මගින් යහපැවැත්ම නිශ්චය කෙරෙන අතර ආදායම් හා වියදම් ඊට තීරණාත්මක බලපෑමක් කරයි. එවැනි නව දර්ශකයක අරමුණ, එතැන් සිට ඔහු ඉදිරියට ගියාද නැත්නම් ආපස්සට වැටුනාද යන්න මැන බැලීමයි.

අපි කොතැනද?

ආර්ථිකය හැකිළීමෙන් පුද්ගල ආදායම් තවදුරටත් අඩුවී ගියහොත් තත්ත්වය තව දුරටත් අමාරු විය හැකිය.

පාරිභෝගිකයාට දැන් සිදුවී තිබෙන්නේ ලොරියක බඩු පටවාගෙන මෝටර් සයිකල් එන්ජිමකින් ඇදගෙන යෑමටය. ආදායම් වැඩි කරගත හැකිවන්නේ ආර්ථික වර්ධනයෙනි. ආර්ථිකයක් ජව බල සම්පන්න ලෙස ක්‍රියාත්මක වන විට; රැකියා උත්පාදනය වේ. වැටුප් ඉහළ යයි. ආදායම් ඉහළ යයි. ඒ හා සමගම, භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යයි. උද්ධමනය වැඩි වේවි. නමුත් බඩු මිල හා ආදායම අතර අනුපාතය (පරතරය) සතුටුදායක මට්ටමකට පත්වේ. ඉලක්කය විය යුත්තේ එයයි.

ඇත්ත ඇති සැටියේ දැක, එක දිගට හරි අතට දිව යෑමෙන්, ආගාධයට වැටී විපතට පත් රටක් කෙටි කාලයකින් ගොඩගත්තේ කෙසේදැයි ලෝකයටම උගැන්වීමට අපට නිසැකවම පුළුවන් වෙනවා ඇත.

ශ්‍රී ලංකාවේ උද්ධමනය හරියට කියවා ගනිමු

ආර්. ඒ. ජයවීර
වරලත් ගණකාධිකාරී

advertistmentadvertistment
advertistmentadvertistment