ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව පළමු පන්දු වාර 20-20 තරග ජය ලබයි – ඕවල් පිටියේ චමරි ලකුණු සැණකෙළියේ

297

නවසීලන්ත ක්‍රීඩිකාවන් පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ අතරමං කර හතර අතට පහර දුන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ ලකුණු සැණකෙළිය හේතුවෙන් නවසීලන්තයට එරෙහිව පළමු පන්දු වාර 20-20 තරග ජයග්‍රහණය ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (12 වැනිදා) සමත් වූයේය.

දෙරට අතර පැවති තරගාවලියේ අවසන් තරගය වූ එම තරගයෙන් නවසීලන්තය පරදවා කඩුලු 10 ක විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ලබා ගත්තේ ය.

එම ජයග්‍රාහී හඹා යෑම සඳහා චමරි අතපත්තු හතරේ පහර 13ක් සහ හයේ පහර දෙකක් සමග නොදැවී ලකුණු 80 ක් ලබා ගත් අතර ඇයට අනගි සහායක් ලබා දුන් හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 49 ක් ලබා ගත්තාය.

චමරිගේ අනගි ඉනිමට වැය වූයේ පන්දු 47 කි. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල සඳහා ඇති වු නොදැවුණු ලකුණු 143ක සම්බන්ධතාවය ද වාර්තා පොත් අතරට එක් විය.

හර්ෂිතා පන්දු 40 කදී ලකුණු 49 ක් ලබාගත් අතර තරගය ජයග්‍රහණය කළ පන්දුවාරයේදී ඇයගේ පිත්තෙන් හතරේ පහර තුනක් වාර්තාවිණි.

චමරි සහ හර්ෂිතාගේ පිතිහරඹය මත ශ්‍රී ලංකාව තරගයෙන් ජය ගන්නා විට ශ්‍රී ලංකා ඉනිමේ නියමිත පන්දු සංඛ්‍යාවෙන් තවත් පන්දු 33 ක් ඉතිරිව තිබුණි.

පළමු තරගයේ පළමු පන්දුවෙන් ද, දෙවන තරගයේ අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යෑමෙන් ද සිය ඉනිම නිමා වූ චමරි ඊයේ ලකුණු ලබාගැනීම ආරම්භ කළේ ද වේග පන්දු යවන ක්‍රීඩිකා කාර්සන්ට එරෙහිව අලංකාර හයේ පහරක් එල්ල කරමිනි.

අමෙලියා කෙර්ට එරෙහිව සිය 25 වන පන්දුවේදී 4 පහරක් එල්ල කරමින් අර්ධ ශතකය ලැබූ චමරිගේ ඉනිම නතර කර ගැනීමට නොහැකිව නවසීලන්ත ක්‍රීඩිකාවෝ අසරණව සිටියහ.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ඔවුහු ලකුණු 140 ක් ලබා ගත්හ.

නවසීලන්ත නායිකා සෝපී ඩිවේන් එහිදී පන්දු 25 කදී ලකුණු 46 ක් ලබා ගත් අතර සුෂී බේට්ස් ලකුණු 37 ක් ලබා ගත්තාය.

නවසීලන්ත ඉනිමේ කඩුලු 3 ක් ලකුණු 15 කට දවා ගැනීමට ඉනෝකා රණවීර සමත් වූවාය. සුගන්දිකා කුමාරි ලකුණු 23 කට කඩුලු 2 ක් බිඳ හෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 14.3 ක් පමණක් වැය කරමින් ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේය.

ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තද පළමු තරග දෙක ජයගත් නවසීලන්තයට 2-1 ක් ලෙස තරගාවලි ජය හිමි විය.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු ද, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සුෂී බේට්ස් ද සම්මානයෙන් පිදුම් ලැබුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment