ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වරප්‍රසාද කමිටුවට කැඳවීම ඉතාම භයානකයි – ජී. එල්. පීරිස්

127

පවතින පාර්ලිමේන්තුව අවලංගු කාසියක් බවත්, පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න විසඳිය නොහැකි නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසත් තමන් ඉල්ලා සිටින බවත් නිදහස් ජනතා සන්ධානයේ සාමාජික මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (13 දා) ඉල්ලීමක් කළේය.

පළාත් පාලන මැතිවරණය නොපවත්වන්නේ මුදල් නැති නිසා නොව රජයට ජනතාවගේ සහාය නැති නිසා බවත් රජයට ජනතා සහාය සියයට 8 දක්වා පහළ බැස ඇති බවත් එම සන්ධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජී. එල්. පීරිස් මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වූවානම් ජාතික මට්ටමේ මැතිවරණය තැබීමට සිදුවන බවත් රජය ඊට බය බවත් පැවසූ ඒ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට යෝජනා කිරීම ඉතා භයානක තත්ත්වයක් බවත් කියා සිටියේය.

රජයේ අරමුණ කුමක් හෝ සිදුකර මැතිවරණය කල්දමා ගැනීම බවද එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්‍ෂණ කඩා වැටීමක් බවද අවධාරණය කළ ජී. එල්. පීරිස් මහතා මේ සියල්ලටම රජයේ උත්තරය මර්දනය බවත් ඒ පිළිබඳව ජාත්‍යන්තරයේ නරක ප්‍රතිරූපයක් ගොඩනැඟී ඇති බවත් වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment