ශාන්ත බණ්ඩාර රාජ්‍ය ඇමැති ධුරයේ වැඩ භාර ගනී

304

කාබනික පොහොර නිෂ්පාදන ප‍්‍රවර්ධන හා සැපයුම් නියාමන, වී, ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු වගා ප‍්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ධුරයට පත් කෙරුණු කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (12 දා) පෙරවරුවේ සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගත්තේය.

වැඩ භාර ගැනීමේ අවස්ථාවට හිටපු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වැඩ භාර ගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ නව රාජ්‍ය ඇමැතිවරයා තමාගේ මෙම තීන්දුව පෞද්ගලික පටු පරමාර්ථයන් වෙනුවෙන් ගත් එකක් නොවන බවත් මෙය රට ස්ථාවර කිරීම වෙනුවනේ ගත් තීන්දුවක් බවත් කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය.

මා නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්තී‍්‍ර කණ්ඩායම උත්සාහයක් දැරුවා අන්තර් පාලන ආණ්ඩුවක් බිහිකිරීමට. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනගියත් එය සාර්ථකත්වයට පත්කර ගැනීමට හැකියාවක් නැහැ. එම නිසා මේ අවස්ථාවේ රට අරාජික වන පැත්තේද? එසේ නොමැති නම් රට ස්ථාවර වන පැත්තේ ද යන තීන්දුව හෘද සාක්ෂියට අනුව ගත යුතුව තිබුණා. ඒ අනුව ස්වාධීන මන්තී‍්‍රවරයකු ලෙස රට ස්ථාවරව තබාගෙන යෑමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව මා ජනාධිපතිතුමාට ප‍්‍රකාශ කළා.

වංචා දූෂණවලට සම්බන්ධ නැති මහජන නියෝජිතයකු ලෙස මේ අවස්ථාවේදී ගොවි ජනතාවගේ ප‍්‍රශ්නය භාරගෙන කටයුතු කිරීමට ජනාධිපතිවරයා තමාට මෙම රාජ්‍ය අමාත්‍යාංශය භාරදුන් බව ද හෙතෙම සඳහන් කළේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment