ශිෂ්ටාචාරය හා ජඩචාරය

276

ශිෂ්ටාචාරය නම් දැමුණු, හැඩගැසුණු, සකස් වුණු ඥාණාන්විත ගරුසරු දිවි පැවැත්මයි. මේ සඳහා දැනුම අත්දැකුම පුළුල් ගැඹුරු සාධාරණ චින්තනය අවශ්‍ය වේ. මිනිසාගේ සුරක්‍ෂිත ඉදිරි ගමනටත් සමෘද්ධිය හා සෞභාග්‍ය කරා ළඟාවීමටත් ශිෂ්ටාචාරය පදනම් වෙයි. අහස පොළොව හරි හැටි දැන හැඳින වගා වැවිලි ඇති කොට ගෙන උපයා සපයා බෙදා හදාගෙන සම්මතයක් තුළ ජීවත් වීම ඇරැඹුණේ ගොවි යුගයේය. එනම් ගොවි ශිෂ්ටාචාරයෙනි. ආගම් ශාස්තෘවරුන්, ඉසිවරුන්, ජීව හිතවාදීන් බිහි වූයේ ගොවි යුගයේය. සුරක්‍ෂිත සමෘද්ධිමත් සෞභාග්‍යවත් මානව දිවි පැවැත්ම ඇරැඹුණේද ගොවි ශිෂ්ටාචාරය තුළය.

සමෘද්ධිය සෞභාග්‍ය ලෝ දහම හා බැඳේ. පොළොව, ජලය, වාතය, හිරු කිරණ, ජීව ශක්තිය නොතකා සමෘද්ධිය ගැන කතා කළ නොහැකිය.

සමෘද්ධිය යනු ජීවිතය ගෙන යෑමට අව්‍ය දේ සුනිසි මඟෙකින් නොඅඩුව ප්‍රමාණවත්ව ලැබීමයි. මේ සඳහා පෙර කී පංච මහා බලය නිසි පරිදි ලැබීමට මඟ සැලැසී තිබිය යුතුය. ආඪ්‍ය වීම උතුරා යෑම සමෘද්ධිය ලෙස සැලැකිය හැකි නොවේ.

සෞභාග්‍යය මූලික වශයෙන් ආධ්‍යාත්මික වර්ධනය හෙවත් මානසික ශක්තිය හා බැඳේ. ගැඹුරු පුළුල් සාධාරණ චින්තන ශක්තිය, මානසික සංතෘප්තිය, සංහිඳියාව, ප්‍රබෝධනය, සහජීවනය සහ සහයෝගීතාව හා සමතාව සෞභාග්‍යයයි.

ජීවිතය නම් ජීවයට හිතකර පවත්නා දේයි. එනම් මේ භෞතික කය හා මනසයි. මේ පවත්වාගෙන යෑම ජීවත්වීමයි. ජීවත් විය යුත්තේ ඇයි? කෙසේද යනු නුවණින් විමසා වටහා ගැනීම මිනිසාගේ වගකීමයි. ජීවත් වීම සිදුවිය යුත්තේ ශිෂ්ටාචාරය තුළය.

ශිෂ්ටාචාරයට පටහැනි බව ජඩචාරයයි. මෙම ජඩ ආචාරය යනුවෙන් විග්‍රහ කළ නොහැකියි. ආචාරයක් නොවන හෙයිනි. ජඩචාරය එඬේරුන්, එළුවන්, බැටළුවන්, හරකුන් ආදී සතුන් හීලෑ කැර ගත්තේ මරා මස් කෑමටය. ඔවුන් පිට ගොස් සෙසු එඬේර කණ්ඩායම් වනසා ඔවුන් සතු දේ පැහැර ගැනීමටය. පසු කලෙක එඬේර රටවල් බලවත් වී මුහුදු කොල්ලය ඇරැඹිණි. එයින් චෞර රාජ්‍ය ගොඩනැඟිණි. අද මේ චෞර රාජ්‍යයන් බලසම්පන්න වීමෙන් වාණිජත්වය හා පාරිභෝජනත්වය තුළින් විද්‍යාව තාක්‍ෂණය ඔස්සේ ගෝලීය මහා ජඩචාරය ගොඩනැඟී ඇත. ඇඟීම, ආශාව පිරී ඉතිරී භෞතික සම්පත් ගොඩගසා ගැනීමට පොර වැදීම ජඩචාරයේ මූලික ලක්‍ෂණයයි.

යුද, ආයුධ, මත්කුඩු මත් පෙති නිපදවීමේ හා අලෙවි කිරීමේ මහා ජාවාරම රටවල් ගිනි ඇවිළවීමට, සූරාකෑමට, ගසාකෑමට, කූඨ උපක්‍රම යෙදීම, ආහාර වස්ත්‍ර නිවාස ඖෂධ මහා මාර්ග යාන වාහන ආදී සකල දේම කූඨ වාණිජ ව්‍යාපාර බවට හරවා ගැනීම, පරිසරය දූෂණය කිරීම, විකෘති කිරීම, විකුණා කෑම, සතුන් වගා කිරීම, වනාන්තර වනසාලීම, පොලිතීන්, ප්ලාස්ටික් රසායනික විෂ වර්ග නිපදවීම, අධ්‍යාපනය, ආගම හා දේශපාලනය මානසික වහල් භාවයේ උල්පත් බවට හැරවීම ආදී දහසක් පාපකර්ම අපරාධ දුරාචාර විනාශයන් මේ එඬේර ජඩචාරයේ මහාර්ඝ දායාදයෝය. පළමු වන ලෝක මහා යුද්ධය, දෙවන ලෝක මහා යුද්ධය මේ ජඩචාරයේ මාරක සිහිවටනයෝය.

ගෝලීය මේ මහා ජඩචාරයට එරෙහිව අදහස් පැවසීම ලිවීම කතා කිරීම ක්‍රියාත්මක කිරීම තබා සිතීමත් තහනම් වී ඇත. මේ මහා කූඨ ජඩචාරය ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළිනි. මේ හෙයින් හැමටම පොදුය. අපද කොටු වන්නේ මෙතැනදීය. මේ හෙයින් මේ ලිවීම මෙතෙකින් නතර වේ. අද පසි`ඳුරන් පිනවීමට නිපදවී නැත්නේ කුමක්ද. ඇණයක් එබූ සැණින් විශ්වයම දැකිය හැකි නොවැ. ඉතිං මොනවද අඩු අප මේ ලියන්නේ මොන මළ විකාරද.

අද මේ රටේ දේශපාලන මගෝඩි මුදුන් පෙත්තටම නැග ඇත. මේත් ජඩචාරය නොවේද. ජඩචාරයට හැදුනුකම හැකියාව බුද්ධිය තැන්පත් ගුණය විචාරය පෙනෙන්නට බැරිය. අමනකම උද්දච්ච භාවය චිත්තවේග කඩාබිඳ දැමීම උද්ධාමය මෙහි බලකොටුය. වාණිජත්වය හා පරිභෝජනය කුළුගැන්වී ඇතිවන ජාති ස්වයංපෝෂණය ජඩචාරයේ වෙස් මුහුණකි.

න. හෙළිඇසිරි

advertistmentadvertistment
advertistmentadvertistment