සංචාරක වීසා මගින් කතුන් ඩුබායි යවා අතරමං කරන වංචනිකයන්  අල්ලන්න කාර්යාංශයෙන් විමර්ශන

185

සංචාරක වීසා මාර්ගයෙන් ඩුබායි රැකියා සඳහා කාන්තාවන් පිටත් කළ වංචාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

සංචාරක වීසා මගින් ශ්‍රී ලාංකික කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත් කර රැකියා ලබා නොදී එරට රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින බවට ඉකුත්දා පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග ඒ ගැන අවධානය යොමු කළ අමාත්‍යවරයා එම ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස කාර්යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ අනුව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන කටයුතු සඳහා එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ. තවද, කාර්යාංශයේ දඹුල්ල පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් කරුණු සොයා බැලීමට සංචාරක වීසා මගින් ඩුබායි රැකියාවකට ගොස් රැකියාව නොලැබීම නිසා යළි දිවයිනට පැමිණි කාන්තාවකගේ නිවසට ද ගොස් ඇත.

සංචාරක වීසා මගින් පුද්ගලයන් රැකියා සඳහා යොමු කළ විදේශ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රලාභියා කාර්යාංශයේ දඹුල්ල පුහුණු මධ්‍යස්ථානය වෙත කැඳවා විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. එසේම ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින කාන්තාවන් 85 දෙනා පිළිබඳව ඩුබායි කොන්සල් කාර්යාලය වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර, එහි නිලධාරීන් එම කාන්තාවන් පිළිබඳව කරුණු සොයාබලමින් සිටිති. මෙම ගැටලුව සම්බන්ධයෙන් දේශීයව හා විදේශීයව ක්‍රියාත්මක කරන විමර්ශනවල වාර්තා සැලකිල්ලට ගෙන ඉදිරි පියවර ගැනීමට නියමිතය.

වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යෑමට උනන්දුවක් දක්වති. ඒ හේතුවෙන් ඉහත රටවල රැකියා ලබාදෙන බව පවසා සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවල දැන්වීම් පළකරමින් මුදල් ලබාගන්නා වංචාකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබෙන පැමිණිලි දිනෙන් දිනම ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ.

කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන අඅඅගිකඉfැගකන වෙබ් අඩවියෙන් හෝ කාර්යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීමෙන් මහජනතාවට රැකියා නියෝජිතායතනවල නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් තොරතුරු දැනගත හැකිය.

ප්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment