සනත් නන්දසිරි ගාන්ධර්වයාණෝ ජීවන ගීතය නිම කරති

413

ප්‍රතිභාපූර්ණ මහා සංගීත ප්‍රාඥයකු සහ අග්‍රගණ්‍ය ගායනවේදියකු වූ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා ඊයේ (28 දා) අභාවප්‍රාප්ත වූ බව ‘දිවයින’ සාතිශය සංවේගයෙන් දන්වා සිටිමු.

රෝගාතුරුව ප්‍රතිකාර ලබමින් පසුවූ ඒ මහතා ඊයේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වනවිට 81 හැවිරිදි වියෙහි පසුවිය.

මෙරට සංගීත කලාව වෙනුවෙන් මාහැඟි මෙහෙවරක නිරත වූ හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි 1942 වසරේ පෙබරවාරි මස 15 වැනිදා මෙලොව එළිය දුටුවේය.

70 දශකයේ සංගීත දිවිය ඇරැඹූ හෙතෙම ගුවන් විදුලිය, සිනමාව, වේදිකා නාට්‍ය මෙන්ම ටෙලි නාට්‍ය රැසකට ද ගීත ගායනයෙන් සහ සංගීත අධ්‍යක්‍ෂණයෙන් දායකත්වය දුන්නේය. ඒ මහතා ගීත නාටක, වේදිකා නාටක, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට ද සිය නිර්මාණ දායකත්වය ලබාදුන් සම්මානිත ප්‍රවීණ කලා ශිල්පියෙකි.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ පළමු පීඨාධිපතිවරයා වූ සනත් නන්දසිරි මහතා එම විශ්වවිද්‍යාලයෙන් බිහිවූ පළමු මහාචාර්යවරයා ද විය. වසර හයක් ඉන්දියාවේදී සංගීතය හැදෑරූ ඒ මහතා එහදී සංගීත් නිපුන් උපාධිය ලබා ශාස්ත්‍රීය ගායනය පිළිබඳව නිපුන් පරීක්‍ෂණය සමත් වූ පළමු ශ්‍රී ලාංකිකයා ද විය.

සනත් නන්දසිරි ගාන්ධර්වයාණෝ ජීවන ගීතය නිම කරති

තරුණ සංගීතවේදීන් දැනුවත් කිරීම උදෙසා භාරතයේ සංගීතවේදීන් සහ ‘රාගාලංකාරය’ කෘති රචනා කළේ ද මහාචාර්ය සනත් නන්දසිරි සූරීන්ය.

එදා මෙදා තුර ‘දේදුන්නේ පාට පාටින් – දුලීකා සනත් ගී 16’ ‘ඇවුළුණු ගිනි දැල්’ ‘බොඳ මීඳුම්’ ඇතුළු කැසට් පට සහ සංයුත්ත ගී තැටි රැසක් හෙතෙම මෙරට සුභාවිත ගීත අතරට එක් කළේය.

මහාචාර්ය සනත් නන්දසිරි සූරීන්ගෙන් සංගීත දැනුම ලැබූ සිසු සිසුවියෝ ද විශාල පිරිසක් වෙති. අවිළුණු ගිනිදැල්, එදා මෙදා තුර, ඈත එපිට ගම්මානෙන්, සැඳෑ කළුවර, මේ ප්‍රථම වසන්තයයි, දුලීකා, ආදරේ නෑ, ආදරේ , එක යායට මල් පීදෙන, මම නම් ආසයි, මුළු ලොව මගෙන් අසාවී, පෙමාතුර හැඟුම්, සමුගන්නදෝ, දඟකාර ඔය දැස, ලස්සනනම් නෑ පෙනෙන්නේ, මිහිරාවී, නුඹේ සුවඳ, එකසිත වත කමලේ, සීත රෑ යාමේ, සඳ බලන්න බෑ, සඳුළු තලේ හිඳ, තහනම් ආදරයේ, වරදක් කළත්, දූ අනුරාධා සහ, යශෝදරා ඇතුළු විශාල ගීත සංඛ්‍යාවක් ගායනා කරමින් මෙරට ගීත ලෝලීන් රසවත් කරමින් ඔවුන් අතර විරාජමාන වීමට සංගීත් නිපුණ් සනත් නන්දසිරි මහතා සමත් විය.

ප්‍රවීණ ගායන ශිල්පිනී මල්කාන්ති නන්දසිරි මහත්මිය, සනත් නන්දසිරි මහතාගේ බිරිඳ වූ අතර අනුරාධා ඔවුන්ගේ එකම දියණියයි.

අභාවප්‍රාප්ත සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ දේහය ඇඹුල්දෙණිය පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

එදා මෙදා තුර කඳුළට විවරවූ දෑස් පියන්පත් කවුළු වසා ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරුණු රන් දෙතොල පියා මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා දෑත ළයේ බැඳි අවසන් ගමනට නොකියාව….යන්න ගියා……”

සුජීව තත්සර
ඡායාරූපය – දයාන් විතාරණ

advertistmentadvertistment
advertistmentadvertistment