සුබසාධක ප්‍රතිලාභ ඉල්ලන අයදුම්පත් ලක්‍ෂ 22ක් තහවුරු කර අවසන්

95

වැඩිම පිරිස මාතරින්

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනෙහි තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මගින් ලැබී ඇති අයැදුම්පත් ලක්ෂ 22 කගේ වැඩි ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීම අවසන් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340 කින් ලද අයැදුම්පත් ලක්ෂ 37ක සුබසාධක දීමනා ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ. මේ අනුව දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයැදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 82.1 කි.

පිළිවෙළින් අම්පාර දිස්ත්‍රික්කයෙන් සියයට 78.3ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් සියයට 74.5ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් සියයට 73.3 ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සියයට 71.7 ක් ආදි සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයැදුම්පත් 2,227,888 ක තොරතුරු තහවුරු කර ගෙන ඇත. මෙම තොරතුරු සමීක්ෂණ කටයුතු මාර්තු 31 වැනිදායින් අවසන් වන බැවින් කඩිනමින් අදාළ තොරතුරු සමීක්ෂණ සිදුකරන නිලධාරීන් වෙත නිවැරදිව දත්ත ලබාදීමට කටයුතු කරන ලෙස රජය අයැදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

එසේම නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන අයැදුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බව ද රජය අවධාරණය කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment