සමාජ සංසිද්ධීන් සියුම් ලෙස උපහාසයට ලක් කරන චැනල් කාක්කා

156

“චැනල් කාක්කා”, අමුතු නමක් උපහාසයක් වගෙයි. මේ කෙටි කථා සංග්‍රහයේ රචනා කරනු ලබන්නේ දැනට ග්‍රන්ථ 70 කට වඩා ලියා එළිදක්වා තිබෙන විවිධ සම්මානයන්ගෙන් පිදුම් ලත් ලේඛන කලාව මෙන්ම නාට්‍ය හා රංග කලාවේද දස්කම් පාන, මාධ්‍යවේදී “සුගත් ශාන්ත මොරගහකුඹුර” විසිනි.

 ග්‍රන්ථයේ නමින්ම තිබෙන කෙටි කථාවක්ද වෙයි. මා ආයුර්වේද, මානසික රෝග පිළිබඳ විශේෂ වෛද්‍යවරයකු මෙන්ම මනෝවිද්‍යා උපදේශකවරයකු වශයෙන් උපදේශන ක්‍ෂේත්‍රයේ නියැළි අයකු බැවින්, වැඩි පුරම සම්බන්ධ වන්නේ මානසික රෝග ගැටලු පිළිබඳවය. දරුවන්ගේ ගැටලු මෙන්ම පවුල් ගැටලු සම්බන්ධයෙන්ද උපදේශනයේ යෙදෙන්නකු වශයෙන් බොහෝ අවස්ථාවලදී අත්දකින ඉතාම ගැටලුකාරී මානසික ගැටලුවක් කතුවර සුගත් ශාන්ත මොරගහකුඹුර මෙම ග්‍රන්ථයේ කෙටිකථාවක් ලෙසින් ඉතාම අපූරුවට කථාකර තිබේ. බොහෝ පවුල් ආරවුල් ගැටලුවලදී දක්නට තිබෙන මෙම කාරණාව දරුවෝද දෙමාපියෝද වෙනත් වැඩිහිටියෝද ඇතැම් අවස්ථාවලදී නීතිය ක්‍රියාත්මක කරන්නෝද මේ විෂය කරුණ ගැන හරිහැටි අවබෝධයක් නොලැබූ බොහෝ වෘත්තිකයන්ද පිළිනොගන්නා සමාජ ආචාර ධර්‍ම හා ගුණ ධර්‍මයන්ට මුවා වී සැඟව පවතින මෙම කනගාටුදායක කාරණය පවුලක් සතුටින් සිටීමට සියල්ලෝම තේරුම් ගත යුතු වුවද, එසේ තේරුම් නොගන්නා දෙයකි. සැබැවින්ම වරද කරන්නා ප්‍රශ්න ඇති කරන්නා මෙහිදී කාගේත් අනුකම්පාවට භාජනය වන අහිංසක චරිතය වන අතර එයින් පීඩාවට පත්වන පවුල් ජීවිතය මෙන්ම තම ජීවිතයද අපායක් කරගන්නා සැබෑවටම ගැටලුවට මුහුණ දෙන චරිතය වරදකාරිය වී සැමගෙන්ම අවඥාවට පත්ව අන්ත අසරණ භාවයට පත්වීම මෙම

 ගැටලුවේ සාමාන්‍ය ස්වභාවයයි. මේ ගැටලුව ඉතාම හොඳින් පැහැදිලි කරමින් විග්‍රහ කරමින් සැබැවින්ම වැරදිකරු කවුද ප්‍රතිකාර ගත යුත්තේ කවුද යන්න හොඳ මනෝවිද්‍යාත්මක පදනමකින් නිසි ලෙස කථාකර තිබේ. එය ඉතාම සතුටට කරුණකි. සුගත් එය හොඳින්ම කියා තිබෙනව පරිස්සමට අවබෝධයට ගනිමින් කියවන්න මේ චැනල් කාක්කා නම් කෙටි කථා සංග්‍රහයේ 02 වන කෙටි කථාව “ඒවං මේ සුතං” කථාව. විවාහක අය මෙන්ම විවාහයට පෙර සෑම පෙම් යුවලක්ම, නැන්දම්මලා මාමාලා නෑනලා ඇතුළු සියල්ලෝම කියවා බලා තේරුම් ගත යුතු කතාවකි. කථාවක් කියනවාට වඩා එය මා දුටුවේ පවුල් සාර්ථක කරගැනීමට හා ගැටලු වළක්වා ගැනීමට වැදගත් තවත් එක් දේශනයක කෙටි සටහනක් ලෙසයි. කියවිය යුතුම කථාවක්.

 ආයෙමත් ආදරෙන් එහෙම කියනකොට මොනව හිතෙනවද කියන්න බැහැ එක එක අයට හිතෙන දේවල් වෙනස්. කෙසේ නමුත් ඒ සුගත්ගේ චැනල් කාක්කා කෙටි කථා සංග්‍රහයේ පළමු කෙටි කථාවයි.

 “දෑස් නොඇරම ඇය ඊළඟ නිමේෂයේ සිය වම් අතේ සිරවී තිබුණු රන් මුදුව ගලවා වාහනයේ ඩෑෂ්බෝඩ් එක මත තැබුවාය. මේ ‘ආයෙමත් ආදරෙන්’ කථාවේ අවසන් භාගයේ සිද්ධියකි.

 ඇත්තටම මොකක්ද ඊට පස්සේ වෙන්න ඇත්තේ. මේ සුගත් ශාන්තයන්ගේ කථාවල තිබෙන තවත් ඉතාම වැදගත් දෙයකි. එනම් පාඨකයාට හිතන්නට ඉඩ ප්‍රස්ථාව සලසා දීමයි. ඔහේ කියවාගෙන යාම හා කියන්නට තිබෙන හැමදේම කියා නිම කිරීම එක් කථා විලාසයක් වුවද පාඨකයාට හිතන්නට හිතෙන් මවා ගන්නට ඉඩ දීම එයට පෙළඹවීම හා ඒ ඔස්සේ කථාව මෙහෙයවීම ඉතාම වැදගත් ලක්ෂණයක්. මන්ද යත් ඒ නිසා පරිකල්පන ඥානය දියුණු වෙයි. මෙය ඉතාම හොඳ බුද්ධිමය ලක්ෂණයකි. බුද්ධිමත් පාඨකයින් බිහිවන ක්‍රියාවලියකි.

 පොත කියවාගෙන යෑමේදී එය කියවීමට පමණක් සීමා නොවී කියවන අතරතුර බොහෝ දේ සිතන්නට හිතෙන් මවා ගන්නට පෙළඹෙයි කථාව හිතේ මැවෙයි. සමහර විට එය ඇත්තටම සිදුවෙන්නාක් මෙන් රස විඳියි. චිත්‍රපටියක මෙන් මැවී පෙනෙයි. චින්තන ප්‍රතිභාවක් ඇතිවෙයි. පරිකල්පනය ඇතිවෙයි. ඇතැම්විට තම පුද්ගලික අත්දැකීම් ද මුසුවී අමුතුම රසයක් ඇති කරයි. සුගත් ගේ කථා කලාවේ එය සුවිශේෂයි.

 සමාජයේ ලිංගික හිංසනය හා වෘත්තීය ස්ථානයන් තුළ ලිංගිකමය බලහත්කාරයන්ට හා ඒ හේතුකොටගෙන යම් යම් අපහසුතාවයන්ට පත්කිරීමත් ඒවාට එකඟ නොවන කාන්නාවන්ට රැකියාවද තනතුරු ද උන්හිටි තැන් අහිමි වීම්ද එකලද මෙකලද සුලභය. සුගත් ඉතා අපූරුවට එවැනි අවස්ථා කථා කරයි. සමාජය දැනුම්වත් කරයි.

 තම සැමියා අහිමි වූ නූගත් ග්‍රාමීය අසරණ කාන්තාවක් තම දරුවන් උගන්වා උස්මහත් කරමින් තම පුතා “දිසාපති හාමුදුරුවො” කරන්නට ආ ගමනේ ඇය මුහුණු දුන් මේ හිංසා පීඩාවන් සමඟ සමාජයේ ඇති තවත් ස්වාභාවයක් කථා කරයි. එසේම එවන් දුක්ගැහැට මැද තම දරුවන් නෝනා මහත්වරුන් කළ ඒ දරුවන් අධ්‍යාපනයෙන් පමණක් පොෂිතව තම කුඩාකල සිටම පියාද නොමැතිව තමන් මෙතරම් ඉහළට ගෙන ආ මෑණියන්ට ඔවුන් අත්කර දෙන ඉරණම ද බොහෝ කථාවල නොපෙනන අඳුරු පැත්ත සුගත් ශාන්ත මොරගහකුඹුර මේ චැනල් කාක්කා කෙටි කථා සංග්‍රහය තුළ “දිසාපති හාමුදුරුවෝ” කථාවෙන් මොනවට ඉදිරිපත් කරයි.

 අධ්‍යාපනයෙන් පෝෂිත දැනුමෙන් පෝෂිත හැකියා කුසලතාවලින් පෝෂිත දරුවකු අනිවාර්යයෙන්ම මානුෂීය ගුණාංගවලින් ද හදවතේ තෙතමනයක් සහිත අධ්‍යාත්මික පෝෂණයක් සහිතව ද හැදිය යුතු බවට සුගත්ගේ “දිසාපති හාමුදුරුවෝ” කථාව සමාජයට අපූරුවට කියා දෙයි. එය හොඳ ආදර්ශමත් කථාවකි.

 තවත් මනාපයක් තමන් කෙරෙහි මනාපයක් ගන්න මිනිස්සු මොනවද නොකරන්නේ. මුදලින්ද තනතුරු වලින්ද වෙනත් සංතෝසම් දීම් වලින්ද සිරුරෙන්ද කප්පම් සංතෝසම් නොදෙන්නෝ වෙත්ද?. නොගන්නෝ වෙත්ද?. මේ නිසාම සුදුස්සාට සුදුසු තැන කෙසේ වෙතත් මොනම තැනක් වත් නොලැබී යාම හෝ නොහිතන තැන් නොහිතන පුද්ගලයන්ට ලැබීම හෝ සිදුවීම වෙයි. සුගත් කිසිදු පැකිලීමකින් තොරව “තවත් මනාපයක්” තුළින් එවන් සමාජ සංසිද්ධීන් සියුම් ලෙස උපහාසයට ලක් කරමින් සමාජගත කරයි. එයින් වැළකීමට අනුබල නොදීමට යම් අදහසක් ලබා ගැනීමට තවත් මනාපයක් ඔබට බොහෝ දේ කියා දෙයි.

 සමස්තයක් වශයෙන් ගත්කල “චැනල් කාක්කා” කෙටි කථා සංග්‍රහය බාල මහලු තරුණ වැඩිහිටි සැමට එකසේ කියවා රස විඳිය හැකි යමක් ඉගෙන ගත හැකි අගනා කෙටි කථා සංග්‍රහයක් බව සඳහන් කළ යුතුමය.

 වෛද්‍ය, කමල් එස්. ජයසේකර
 ආයුර්වේද (මානසික රෝග/විශේෂ)
 ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක

advertistmentadvertistment
advertistmentadvertistment