සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නොවේ – අගමැති මහින්ද රාජපක්‍ෂ

126

* ශ‍්‍රමයට අභිමන්  ජනතා බුහුමන් උළෙල

සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නොවේ යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

වසර 35 කට වැඩි කාලයක් වෘත්තිය සමිති ක්ෂේත‍්‍රයේ නියැළෙමින් වැඩකරන ජනතාව වෙනුවෙන් සේවයට කැපවූ කම්කරු නායකයින් සහ රාජ්‍ය සේවයේ යෙදෙමින් කම්කරුවන්ගේ උන්නතිය උදෙසා තම සේවා කාලය කැප කළ රාජ්‍ය නිලධාරීන් ඇගයීමේ ‘‘ශ‍්‍රමයට අභිමන්-ජනතා බුහුමන්’’ 2021 ඇගයීම් උළෙලට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේදී මේ බව සඳහන් කළේය.

‘‘ශ‍්‍රමයට අභිමන් – ජනතා බුහුමන්’’ සම්මාන ප‍්‍රදානෝත්සවයේ දී කම්කරු ප‍්‍රජාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ කීර්තිමත් වෘත්තීය සමිති නායකයින් 09 දෙනෙක් සහ විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් අග‍්‍රාමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් මෙහිදී ඇගයීමට ලක්වූහ.

වෘත්තිය සමිති නායකයන් වන මෙරෙඤ්ඤගේ දයාරත්න මුනිදාස ප‍්‍රනාන්දු (සමස්ත ලංකා එක්සත් මෝටර් කම්කරු සංගමය), ලෙස්ලි ෂෙල්ටන් දේවේන්ද්‍ර ( ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය) , සුප්පයියා සුබ‍්‍රමනියම් රාමනාදන් (වතු සේවක සංගමය), හේම අමරතුංග පියදාස (සමස්ත ලංකා වෙළඳ හා කර්මාන්ත කම්කරු සංගමය), රෙන්ගසාමි පලිනමුතු (ලංකා කම්කරු කොංග‍්‍රසය), විජේවන්ත පද්මසිරි අමරසිංහ (ලංකා වතු සේවක සංගමය) , රෙන්ගයියා මරුදමුත්තු ක‍්‍රිෂ්ණසාමි (කෘෂිකාර්මික හා වතු කම්කරු සංගමය), ආරුමුගම් මුතුලිංගම් (එක්සත් වතු කම්කරු සංගමය), තුවාන් මන්සූර් රහීම් රසිඞීන් (ලංකා කම්කරු ෆෙඩරේෂන්) යන මහත්වරු සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස සේවයේ නිරතව සිට මේ වනවිට රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ලැබ සිටින මහින්ද මඩිහහේව සහ කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස සේවයේ නිරතව සිට රාජ්‍ය සේවයෙන් මේ වනවිට විශ‍්‍රාම ලැබ සිටින ගුණසිරි වීරකෝන් යන මහත්වරු ද මෙහිදී අග‍්‍රාමාත්‍යතුමා අතින් ඇගයීම් සම්මාන ලබාගත්හ.

සුවහසක් වැඩකරන ජනතාවගේ සුබසාධනය ඉහළ නංවා තෘප්තිමත් ශ‍්‍රී ලාංකික ශ‍්‍රම බළකායක් බිහිකිරීම වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයාව සිටියදී කළ යෝජනාවකට අනුව බිහි වූ ශ‍්‍රම වාසනා අරමුදලේ පුරෝගාමීත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරිණි.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ‘‘ශ‍්‍රමයට අභිමන් – ජනතා බුහුමන්’’ 2021 සමරු කළඹ මෙහිදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබීය.

‘‘ශ‍්‍රමයට අභිමන් ජනතා බුහුමන්’’ 2021 ඇගයීම් උළෙලේ දී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

අපේ රටේ කම්කරු නායකයෝ මේ රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමානාත්මතාවය වෙනුවෙන් කැපවුණා. ඒ විතරක් නෙමෙයි ඔවුන් වෘත්තීය සමිති ව්‍යාපාර ගොඩන`ගලා බලාපොරොත්තු වුණේ රට හමුවේ තිබුණ අභියෝග එකින් එක ජයගන්න එකයි.

ඒ.ඊ.ගුණසිංහ, ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කෙනමන්, දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන මේ විධියට කම්කරු නායකයන් බොහෝ දෙනකුගේ නම් අපේ මතකයට එනවා. මේ අය මෙහෙයවපු වෘත්තීය සමිති ව්‍යාපාර කවදාවත් ජාති, ආගම් වශයෙන් බෙදිල සටන් කළේ නැහැ. ඒ වගේම වැඩ කරන ජනතාව ජාති, ආගම්, කුල අනුව බෙදා වෙන් කළෙත් නැහැ.

හැමෝම එකම පන්තියක මිනිස්සු කියලයි වැඩ කළේ. අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය අදටත් මේ ආකාරයෙන් ශක්තිමත් වෙන්නේ එදා දැමූ ඒ අඩිතාලම නිසා බවයි මම විශ්වාස කරන්නේ.

මෙම අවස්ථාවට ගාමිණී ලොකුගේ, වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඞී.යූ.කේ. මාපා පතිරණ, කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති, ජාතික ලොතරැුයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා, ශ‍්‍රම වාසනා අරමුදලේ අධ්‍යක්ෂවරුන් වන ලලිත් කන්නන්ගර, සුදත් බණ්ඩාර, හිමාලි ඔරුගොඩවත්ත යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment