සිනාසෙන තොල් ගීතයට පුතාලා ඉන්න අම්මලා ආදරෙයි – නිපුණි නයනතාරා

391

සිනාසෙන තොල් අතර මිමිනෙන ප්‍රේම ගීයක තාලයයි ..
නැමීගෙන කැඩපතට නිති කෙහෙරැවුලු සකසන ලීලයයි…
බලාගෙන මදනල කියන්නේ එකම එක පද පේළියයි…
මගේ පුත මා නුඹේ අතැඟිලි මුදාලිය යුතු කාලයයි..

චන්දි කොඩිකාර පද රචනා කළ අනුරාධ අබයසිංහ සංගීතවත් කළ නිපුණි නයනතාරා තෙන්නකෝන් ගායනා කරන ‘සිනාසෙන තොල්‘ ගීතය ආරම්භ වෙන්නෙ මේ විදියට. කැකිරාවෙ ඉපදිලා පාසල් තුනක අධ්‍යාපනය ලබලා සරසවි අධ්‍යාපනයෙන් පන්නරය ලැබූ ඇය මේවන විට තමන්ගේම ගීත නිර්මාණ පනහකට වැඩි ගණනක් රසිකයන්ට දායාද කරලා තියනවා. කාලයක් සංගීත ගුරුවරියක් විදිහට සේවය කර දැනට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඇය සේවය කරනවා.ඉතින් අපි හිතුවා නයනතාරා එක්ක කතා කරන්න.

● සිනාසෙන තොල් ගීතයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ඉතාමත් හොඳයි. ඒ ගීතයට පුදුම තරම් විදිහට පුතාලා ඉන්න අම්මලා ආදරේ කරන්න පටන් ගත්තා. ඒක අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි.

ඔබේ මේ නිර්මාණ අතරින් වඩාත්ම රසිකයන් අතරට ගිය ගීත මොනවද?

ඇත්තටම ඒක තීරණය කරන්න ඕනෙ ආදණීය රසිකයෝ. ඒත් මං හිතනවා ‘සිනාසෙන තොල්‘, ‘ආදරය නිබ්බුත පදයකි‘, ‘සරසවි බිම පාළුයි‘, ‘මගේ අහස යට‘ වගේ ගීත ගොඩක් ආදරයෙන් රසිකයන් වැළඳ ගත්තා කියලා.

● ඔබේ නිර්මාණ ජීවිතය ආරම්භ වෙන්නෙ මොන විදියටද?

කැකිරාව මධ්‍ය විද්‍යාල වේදිකාව ලොකුම පන්නරයක් වුණා. පාසල් කාලේ ඉඳන් සමස්ත ලංකා ,ජාතික මට්ටමේ ගායනා තරගවලින් ප්‍රථම ස්ථානය ලබා ගත්තා.කුඩා කාලයේ ඉඳලම රජරට සේවයේ ගායන වැඩසටන්වලට දායක වුණා. 2012 දැයට කිරුළ ගී තරුව (ජාතික රූපවාහිනීය සහ තරුණ සේවා සභාව එකතුවෙන් කරපු) වැඩසටහනේ ප්‍රථම ස්ථානය දිනා ගත්තා.ඒත් එක්ක ලොකු අවස්ථා ලැබුණා. ඒ අනුව ගුවන් විදුලි ‘ ඒ ශ්‍රේණියේ‘ ගායන ශිල්පිනියක් විදියට වැඩසටහන් රැසකට දායක වුණා. ස්වතන්ත්‍ර ගීතයක් නිර්මාණය වෙන්නේ මට අවුරුදු 14 දී. මහගම සීලානන්ද හාමුදුරුවන්ගේ ‘පියුමක ලස්සන‘ සී,ඩී තැටියට ගීත 2 ක් ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඒ ගීත දෙකෙන් එකක් ආචාර්ය රෝහණ වීරසිංහයන් ද අනික් ගීතය සංගීතවේදී රෝහණ ධර්මකීර්ති විසින්ද සංගීතවත් කළා. පසුව උසස් අධ්‍යාපනය සඳහා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී ගායනය විශේෂවේදී උපාධිය නිමා කළා. ඒත් එක්කම විශාරද විභාගයත් ප්‍රථම පෙළ සාමාර්ථ්‍යයකින් නිමා කරන්න පුළුවන් වුණා. විශ්වවිද්‍යාල කාලය ගොඩක් සුන්දර විදිහට ගෙවුණා.

● සංගීත දිවියේ ලැබුණු විශේෂ අද්දැකීම් මොනවද?

ටෙලිනාට්‍ය හා චිත්‍රපටවලට ගායනයෙන් සම්බන්ධ වෙන්න හැකිවීම නැවුම් අත්දැකීමක්. එහිදී මට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග වැඩකටයුතු කරගෙන යෑමට වාසනාව ලැබුණා. කරුණාරත්න දිවුල්ගනේ, ආචාර්ය රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, එඩ්වඩ් ජයකොඩි, චන්දන ලියනාරච්චි, කසුන් කල්හාර,එච්. එම්. ජයවර්ධන, ලක්ෂ්මන් විජේසේකර, රෝහණ ධර්මකීර්ති, දර්ශන වික්‍රමතුංග, අනුරාධ අබයසිංහ, උදාර සමරවීර, ප්‍රියන්ත නාවලගේ, නිමේෂ් කුලසිංහ වැනි ක්ෂේත්‍රයේ දැවැන්තයන් සමග වැඩ කරන්න ලැබීම ඇත්තටම මගේ ලොකු වාසනාවක්.

මොනවද ඔබ දායකවුණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය?

අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කරපු ‘මා‘ චිත්‍රපටයේ ගීත දෙකක් ගායනා කළා.එකක් යුග ගීතයක්. එය ගායනා කළේ ප්‍රවීණ ගායන ශිල්පී කසුන් කල්හාරයන් එක්ක. චිත්‍රපටය ඉදිරියේ තිරගත වීමට නියමිතයි. ඔහුගේම ‘මෝදර බඹරු‘ ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කළා.ප්‍රියා රණසිංහ විසින් අධ්‍යක්ෂණය කරපු ඉර අවර ටෙලි නාට්‍යයේ තේම ගීතයත් ගායනා කළා. තව ඉදිරියට විකාශනය වෙන්න නියමිත ‘නිහඬගිර‘ ටෙලිනාට්‍යයේ ගීතය ගායනා කළා. මීට අමතරව වෙළඳ දැන්වීම් පසුබිම් ගායනයෙනුත් දායක වෙනවා.

සිනාසෙන තොල් ගීතයට පුතාලා ඉන්න අම්මලා ආදරෙයි - නිපුණි නයනතාරා

● නයනතාරා කියන්නේ ගායිකාවක් විතරමද?

මෙහෙමයි, ප්‍රියා රණසිංහ නැන්දා විසින් අධ්‍යක්ෂණය කරපු ‘ඉර අවර‘ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා.ඒ ටෙලි නාට්‍යයේ ‘දීපා‘ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊට පසුවත් රඟපෑමට ආරාධනා ලැබුණත් මගේ ආසාව වුණේ සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියටම යෑමයි. ඒ නිසා රංගන කටයුතුවලට ඊට පසුව දායක වුණේ නැහැ.

● නයනතාරාට ක්ෂෙත්‍රයේ උදව් කළ අය කවුද?

මට මේ ක්ෂේත්‍රයේ ගොඩක් උදව් කළා. විශාරද දර්ශන වික්‍රමතුංග, පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ,ප්‍රවීණ ගේය පද රචක නයනසේන වන්නිනායක, ගේය පද රචක රවී සිරිවර්ධන,ප්‍රවීණ මාධ්‍යවේදී ශාන්ත කුමාර විතාන වගේ අය විශේෂයෙන් මතක් කරන්න ඕනෙ.

● අනාගත බලාපොරොත්තු මොනවද ?

ලොකු බලාපොරොත්තු ගොඩක් නෑ..මිනිසුන්ට දැනෙන,මතක හිටින ගීත ටිකක් කරන එකම තමයි බලාපොරොත්තුව.

● අන්තර්ජාලය හරහා ගී ප්‍රචාරය වීම ගැන දරන මතය මොකක්ද?

මේ වනවිට අපේ ගීත ප්‍රචාරය කරන්නේ ඉතාමත් සීමිත එෆ්.එම් නාලිකාවන්වලින් විතරයි.ඒත් එක්කම ගොඩක් මිනිස්සු දැන් පුරුදු වෙලා ඉන්නේ යූටියුබ් ,ෆෙස්බුක් හරහා ගීත අහන්න. ඉතින් ගීත ජනගත කරන්න අන්තර්ජාලය මට නම් පහසුවක්. ලේසියෙන්ම රසිකයා එක්ක ගනුදෙනු කරන්න පුළුවන් මාධ්‍යයක්. ඔවුන්ට පුළුවන් ඒවෙලේම ගීතයේ ගුණදොස් කියන්න.ඒ දේවල් හොඳ ප්‍රවණතාවක්. මගේ යූටියුබ් නාලිකාවෙන් මගේ නිර්මාණ රසවිඳින්න කියලත් හැමෝටම ආරාධනා කරනවා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment