සිඳී ඇති උඩවලවේ ජලාශය ලොකු කරන්න සැරසෙයි

1154

නියඟයෙන් සිදී ගොස් ඇති උඩවළවේ ජලාශයේ රොන්මඬ ඉවත් කිරීමට ගොවීන් විසින් කර ඇති ඉල්ලිම පරිදි ක්ෂේත්‍ර අධ්‍යයනයක් සඳහා නිලධාරින් පිරිසක් උඩවළවේ වෙත යැවීමට රජය තීරණය කර ඇත. මේ වනවිට ජලය සිඳී යමින් පවතින උඩවලවේ ජලාශයේ රොන් මඬ ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ගොවි ජනතාව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවක් පරිදි ඒ සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ දින (28) මහවැලි අමාත්‍යාංශයේ දී පැවැත්විනි.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍ය රොෂාන් රණසිංහ, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු ඊට සහභාගි වූහ. කෘෂිකර්ම, වනජීවි, මහවැලි හා වාරිමාර්ග අමාත්‍යාංශ නියෝජනය කරමින් නිලධාරිහු මෙන්ම ගොවි නියෝජිත පිරිසක් ද ඊට සහභාගි වූහ.දැනට උඩවලවේ ජලාශයේ රොන් මඬ ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ඉල්ලීම පරිදි එම කටයුතු ඉටු කරන්නේ නම් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව මෙම සාකච්ඡාවේ දී ගැඹුරින් සාකච්ඡා කරනු ලැබීය.කෙසේ වුවද මෙම කටයුතු සදහා ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදුකිරීමටත් ඒ සඳහා නිලධාරින් පිරිසක් උඩවළවේ ජලාශය වෙත කඩිනමින් නිලධාරින් පිරිසක් යොමු කිරීමට තීරණය කරනු ලැබීය.එමෙන්ම ඔවුන් විසින් සිදු කරනු ලබන අධ්‍යයනයන් අනුව දින තුනක් තුළ වාර්තාවක් ලබා ගැනීමටත්, එම වාර්තාව අනුව රොන්මඬ ඉවත් කිරීම සඳහා සුදුසු පරිදි ක්‍රියාමාර්ග ගැනීමටත් තීරණය විය.උඩවලවේ ජලාශයේ ජල ධාරිතාව කියුබික් මීටර් මිලියන 265කි. උඩවලවේ ඉංජිනේරු කාර්යාලය විසින් සිදු කර තිබෙන ගණිතමය අධ්‍යයනයන් අනුව මෙහි ඇති රොන්මඬ ප්‍රමාණය කියුබික් මීටර් මිලියන 1.5ක් පමණ වේ. එහි සමස්ත ට්‍රැක්ටර් කියුබ් ප්‍රමාණය පන්ලක්ෂ පන්දහස් නවසියයකි. එම ප්‍රමාණය ඉවත් කිරීම මගින් වැඩිවන ජල ධාරිතාවය අක්කර අඩි 1273ක් හෙවත් කියුබික් මීටර් මිලියන දශම 05කි. වැවේ විශාලත්වය සමග ඉන් වැඩිපුර වැපිරිය හැකි කුඹුරු ප්‍රමාණය අක්කර 300කි.

advertistmentadvertistment
advertistmentadvertistment