ජෝර්ජියානුවන් සුනඛ හිමිකම් කොතෙක් අගයන්නේ ද යත්; හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ (ජෝර්ජියාවේ සංචාරයකින් පසු)

ඉකුත් සතියක මට ජෝර්ජියාවේ සංචාරයක යෙදීමට අවස්ථාවක් ලැබිණි. ජෝර්ජියාවේ ද වීදි සුනඛයන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බව එහි ගත කළ කාලය තුළ මා හට වැටහිණි. එහි දී ඔවුන් කෙරෙහි මගේ විශේෂ අවධානය යොමු වූයේ ඔවුන් අප රටේ සිටින වීදි සුනඛයන් මෙන් නොව ඔවුන් පෙනුමින් සේම විවිධ වර්ගවලින් ද දැකිය හැකි වූ නිසා ය. ඒ අතුරින් අප රටේ බහුලව දක්නට ලැබෙන සාමාන්‍ය ඩිංගෝ (Dingo) සුනඛයන් ද දක්නට ලැබිණ. අපේ රටේ ගෘහාශ්‍රිතව ඇති දැඩි කරනු ලබන විශේෂිත සුනඛයන්ගේ පෙනුම ජෝර්ජියාවේ ඇතැම් වීදි සුනඛයන්ගෙන් දක්නට ලැබීම මා තුළ විස්මයක් ඇති කරන්නට ද හේතු විය. මෙවැනි වීදි සුනඛයකු අප රටේ යම් කිසිවකුට ලබා දීමට අවස්ථාවක් ලද හොත් ඔහු භාර ගැනීමට ඕනෑ තරම් ඉදිරිපත් වන බවට සැකයක් නැති තරමට ඔවුන්ගේ පෙනුම ප්‍රසන්න විය. විශේෂයෙන් සඳහන් කළ හොත් පොදුවේ ඔවුන් පෝෂණ මට්ටමින් ද අපේ රටේ වීදි සුනඛයන්ට වඩා ඉතා ඉහළ මට්ටමක සිටින බව මට වටහාගත හැකි විය. මට එහි දී හොඳින්ම අවබෝධ වූ කාරණයක් වූයේ ජෝර්ජියාවේ ජන ජීවිතය අප රටට සාපේක්ෂව යම් උසස් මට්ටමක පවතින බවත් එමෙන්ම අප රටේ වීදි සුනඛයන්ට සාපේක්ෂව ජෝර්ජියාවේ වීදි සුනඛයන්ට සාපේක්ෂව ඉතා යහපත් සෞඛ්‍ය මට්ටමක සිටින බවත් ය. අනෙක ටිබිලිසි නගරයේ දී අසුරක් ගැසූ සැනින් මා අසලට පැමිණි මේ වීදි සුනඛයන් මා හා අතිශයින් කුළුපග වූයේ තමන් හා දිගු කලෙක සිට සමීපත්වයක් පළ කරන්නකු දුටු කලෙක මෙනි. ජෝර්ජියාවේ තත්ත්වය මෙසේ වුවද මෑත දිනක දී අප රටේ එක් රාජ්‍ය ඇමැතිවරයකු පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ ලංකාවේ වීදි සුනඛයන් ලක්ෂ 62 ක් සිටිනා බවකි. නමුත් එය සත්ව ලෝලීන්ට හා සත්ව හිමිකම් ක්‍රියාධරයන්ට කෙසේ වත් පිළිගත නොහැකි අතිශය අභව්‍යාත්මක කරුණු දැක්වීමකි. රාජ්‍ය ඇමැතිවරයකු වුව එය ඔහු කළේ මුළුමනින්ම සාවද්‍ය ප්‍රකාශයක් බව මානුෂීය ක්‍රම මගින් සත්ත්ව ගහනය කළමනාකරණය සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ නිර්මාතෘ පශූ වෛද්‍ය චමිත් නානායක්කාර ද අවධාරණය කොට තිබේ. 2007 වසරේ දී සිදු කළ සංගණනයක දී අප රටේ වීදි සුනඛයන්ගේ ගහනය ලක්ෂ 30ක්ව පැවති බවත්, ඔවුන්ට සිදු කළ වඳ සැත්කම් හේතුවෙන් 2023 වසර වන විට එය ලක්ෂ 21 ක් දක්වා පහළ බැස ඇති බවත් පොදු පිළිගැනීමකි. ඒ තත්ත්වය යටතේ බලධාරීන් මේ සූදානම් වන්නේ නැවතත් වීදී සුනඛ සංහාරයක් කිරීමට ද නැතහොත් ඔවුන් මස් පිණිස චීනය වැනි රටකට විකිණීමට ද යන සැකය යමකු තුළ ඇති විය හැක. එම සැකයේ පදනම කෙසේ වුවත් මේ ප්‍රවෘත්තිය අපේ රටේ වීදි සුනඛයන් සම්බන්ධව රාජ්‍ය මට්ටමින් දක්වන ආකල්පය පිළිබඳ සෑහෙන අවබෝධයක් ලබාගන්නට තරම් ප්‍රමාණවත් ය. ජෝර්ජියාවේ වීදි සුනඛයන් සම්බන්ධව මා ලද අත්දැකීම මෙසේ ලිපියකට ගොනු කරන්නට විශේෂයෙන් සිත් වූයේ ද මේ නිසාම ය.

සුනඛ හිමිකම් රකින හැටි ජෝර්ජියාවෙන් ඉගෙන ගන්න

ජොර්ජියාව නැගෙනහිර යුරෝපය සහ බටහිර ආසියාව හමුවන සීමාවේ පවතින සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයකි. කළු මුහුද, රුසියාව, තුර්කිය, ආමේනියාව, අසර්බයිජානය මෙහි සීමාවන් වේ. මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 69,700 වන අතර සමස්ත ජනගහනය මිලියන 3.7 ක් වේ. ජනගහනයෙන් තුනෙන් එකකටත් වඩා ජෝර්ජියාවේ විශාලතම මෙන්ම අගනගරය ද වන ටිබිලිසි හි ජීවත් වෙති. ප්‍රාග් ඉතිහාසය දක්වාම දිව යන ජෝර්ජියාව වයින් නිෂ්පාදනය, රන් ආකර කර්මාන්තය සහ රෙදි පිළි සම්බන්ධව ප්‍රසිද්ධියක් උසුලයි. අතීතයේ පටන් විවිධ රාජධානි පැවති අතර 1917 සිදු වූ කැරැල්ලෙන් පසුව ජර්මනියේ ආරක්ෂාව සහිතව එය ස්වාධීන ජනරජයක් ලෙස ඉස්මතු වුව ද 1922 වසරේ දී සෝවියට් සංගමය මගින් මෙය ආක්‍රමණය කොට එය තම සංගමයේ කොටසක් බවට පත් කර ගත්තේය. නමුත් සෝවියට් සංගමය බිඳ වැටීමත් සමග 1991 දී එය නැවත ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය. බටහිර හිතවාදී ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන ජෝර්ජියාව මානව සංවර්ධන දර්ශකය ඉතා ඉහළින් පවත්වාගෙන යන රටක් ද වේ. ඉහළ ආර්ථික ස්වාධීනත්වයක් පවතින රටක් වන මෙය දූෂණය, දරිද්‍රතාව සහ විරැකියාව සම්බන්ධව ද දර්ශක පවත්වාගෙන යයි. භූමි ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවට සමානකමක් දැක්වුව ද ජෝර්ජියාව ආර්ථික වශයෙන් සහ මානව සංවර්ධනය අතින් අපට වඩා බොහෝ ඉදිරියෙන් තිබෙන බව කිව යුතුය. මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද එරට තුළ වඩාත් සුවපහසුව, නිදහසේ ජීවත් වන්නට වටපිටාවක් ගොඩනැඟී ඇත්තේ ඒ පසුබිම තුළින් ප්‍රවර්ධනය වූ ආකල්ප හේතුවෙනි.

අප රටේ බොහෝ දෙනකු නිවාස අහිමි සුනඛයන් “පර බල්ලන්, වල් බල්ලන්” නමින් හඳුන්වන අවාසනාවන්ත පසුබිමක ජෝර්ජියානුවන් වීදි සුනඛයන් සලකන්නේ සිය සංස්කෘතියේම කොටසක් ලෙසිනි. මේ කතාව පවසන්නේ ජෝර්ජියානු ජාතිකයන් නොව ජෝර්ජියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීම පිණිස එරටට පැමිණ සිටින විදෙස් සිසුන් ය. ජෝර්ජියාව විදෙස් රටවල් සිසුන් වෙනුවෙන් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන ප්‍රධාන පෙළේ රටක් බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය. ජෝර්ජියානු වීදි සුනඛයන් එරට පොදු ජනතාව විසින් මනා සේ රැක බලාගන්නා බව දක්නට ඇති දෙයකි. මොවුන්ට කෑම බීම,රැකවරණය, එන්නත් ලබා දීම ආදිය සිදු කරන්නේ සමාජමය මට්ටමිනි. එවැනි නිදහසක් සමාජයට ලබා දෙන්නට රජය වීදි සුනඛයන් සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණ ගෙන තිබීම මෙයට හේතුව ය. බොහෝ විදෙස් සිසුහු සිය සිද්ධි අධ්‍යයනයන් (Case Study) හා මාතෘකා කොට ගෙන ඇත්තේ ද වීදි සුනඛයන් ය. ටිබිලිසි නගරයේ අගනුවර පිළිබඳ පවතින ප්‍රකට කියමනක් වන්නේ වීදි සුනඛයකු නොමැති කිසිදු වීදියක් නොමැති බවය. මේ නිසා මෙරටට ඇදී එන සංචාරකයන් අතර පවා වීදි සුනඛයන් පිළිබඳ කතා ප්‍රචලිතව තිබේ. ඇතැම් සංචාරකයන්ගේ එක් අරමුණක් වන්නේ වීදි පුරා නිදහසේ ඔබමොබ සරන සුනඛයන් දැකීම සහ ඔවුන් සමග ‘කතා බහ’ කිරීමය.

ජෝර්ජියානු සමාජය මේ වීදි සුනඛයන්ව කෙතරම් හොඳින් රැකබලා ගන්නේ දැයි පැවසුවහොත් ඔවුනට නිවසක සුවපහසුව ඇතිදැඩි කරනු ලබන සුනඛයකු සහ වීදි සුනඛයකු අතර වෙනසක් නොමැති තරම් ය. ඒ තරමටම වීදි සුනඛයෝ ඉතා සැපවත් ජීවිතගත කරති. විදෙස් සිසුන් පවසන්නේ ඔවුන් උද්‍යානයක බංකුවක් මත හිඳ ගත් විට තම දෙපා මත හිස තබාගෙන සිටින්නට තරම් වීදි සුනඛයන් මිත්‍රශීලී බවකි. මේ සෑම සුනඛයකුගේම එක් කණක හැඳුනුම් සංකේතයක් (Tag) දක්නට ලැබේ. එහි සුනඛයාගේ එන්නත් විස්තරය දක්නට ලැබේ. එමෙන්ම සුනඛයන් සම්බන්ධව කුමක් හෝ හදිසි තත්ත්වයක් උද්ගත වුවහොත් ඒ වෙනුවෙන් කතා කිරීම සඳහා හදිසි ඇමතුම් අංකයක් ද සපයා දී තිබේ. ජෝජියාවේ වීදි සුනඛයන් සම්බන්ධයෙන් ගත යුතු විවිධ කෲර සහගත පියවර ගැන මෑතක් වන තුරුම එහි පාර්ලිමේන්තුවේ කතාබහට ගෙන ඇත. එහෙත්, ඒ සම්බන්ධයෙන් ජන මතය සුනඛයන් ගේ පැත්තට නැඹුරු වීම මත ඔවුන් ඒ අවාසනාවන්ත ඛේදනීය ඉරණමින් අත්මිදී තිබේ. සෑම වසරකම සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා ජෝජියාවට දැඩි ශීත සමයක් උදා වේ. මේ කාලය තුළ උණුසුම සොයා මිනිස් වාසස්ථාන වෙත ළංවන වීදි සුනඛයන්ට අකාරුණික වනුයේ සියයට කෙනකු පමණි. සෙස්සෝ එම සුනඛයන්ගේ ජීවත් වීමේ අයිතිය පිළිගෙන ඊට උපරිමයෙන් ඉඩ දෙති.

ජෝර්ජියාවේ වීදි සුනඛයන්ට හොඳ නරක ඉතා පහසුවෙන් හඳුනා ගැනීමේ ඉවක් පවතින බව ද ප්‍රකට කරුණකි. මේ සුනඛයන් යම් කිසිවකු සමග ඉතා මිත්‍රශීලී වීමෙන් පසු, එකී පුද්ගලයා තමාට ආදරය කරන බව වැටහුණේ නම්, එකී පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් පවා පෙනී සිටි අවස්ථාවන් සම්බන්ධ නිදසුන් බොහොමයක් අගනුවරින්ම ගත හැකිය. එක් සිසුවියක සඳහන් කොට තිබුණේ තමා වෙරළක් අයිනේ පොතක් කියවමින් සිටිය දී හැඩිදැඩි පුද්ගලයකු ආක්‍රමණශීලී ස්වභාවයකින් ඒ දෙසට පැමිණීමේ දී ඇය සමග මිත්‍රව සිටි වීදි සුනඛයා ඉදිරියට පැන එකී පුද්ගලයා පළවා හැරි බවය.

සුනඛ හිමිකම් රකින හැටි ජෝර්ජියාවෙන් ඉගෙන ගන්න

අගනුවර වෙසෙන ව්‍යාපාරික ස්ථාන හිමිකරුවෝ නිරතුරුවම වීදි සුනඛයන් වෙනුවෙන් කෑම බීම සැපයීම සඳහා ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වී සිටිති. එක් අවස්ථාවක දී ජෝර්ජියානු තරුණියක වෙළෙඳසලකින් මස් රැගෙන වීදි සුනඛයන්ට ලබා දෙමින් සිටි අවස්ථාවක් මා හට නිරීක්ෂණය විය. මෙවැනි අවස්ථාවක දී මස් සුවඳට බොහෝ විට සුනඛයන් කලබලයෙන් හැසිරිය යුතු වුව ද, මෙකී තරුණිය සුනඛයන්ට කෑමට ගත හැකි පරිදි මස් කැබලි බිම කඩා විසිරවන කුරු වීදි සුනඛයන් ඉවසීමෙන් බලා සිටි අයුරු පුදුම සහගත ය.” සුනඛයා කියන්නේ ස්වභාවයෙන්ම මිනිස්සුන්ට අතිශයින් අවනත සත්ව කොට්ඨාශයක්. මිනිස්සු ඒ අයට ආදරය කරුණාව දක්වන කොට ඒ අය මිනිස්සුන්ට ඊටත් වඩා ආදරය කරුණාව දක්වන්න පුරුදු වෙනවා” එම තරුණිය කීවාය. එවිට මගේ සිතට එක් වරම පිවිසි සිතුවිල්ල වූයේ මැය වැන්නියක අප රටට පැමිණිය හොත් අප රටේ වීදි සුනඛයන්ගේ තත්ත්වය මත අප ජන සමාජය සම්බන්ධයෙන් මොනවා නොසිතනු ඇත්දැයි කියා ය.

බොහෝ විදෙස් සංචාරකයන් සහ සිසුන් සඳහන් කරන්නේ ජෝර්ජියාවේ වීදි සුනඛයන් සෙසු රටවල වීදි සුනඛයන්ට සාපේක්ෂව වඩාත් වාසනාවන්ත බව ය. ඒ ඔවුන් වීදිවල ජීවත් වුව ද, ඉතා සුව පහසු ජීවිත ගත කරන බැවිනි. අනෙක ඔවුන්ට එසේ ජීවිත ගත කරන්නට ජෝර්ජියානු වැසියන්ගේ බහුතරයක් ඉඩ සලසා දීම පැසසිය යුතු කාරණයක් වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ජෝර්ජියාව ජලභීතිකා රෝගය ඉතා ප්‍රශස්ත මට්ටමකින් පාලනය කරගෙන යන බවත් වැඩි කලක් ගතවන්නට මත්තෙන් ඔවුන් ජලභීතිකාවෙන් නිදහස් රටක් වන බවත් ය. තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වුව ද ජෝර්ජියාව අසරණ වීදි සුනඛයන්ට දක්වන ආදරය, කරුණාව එලෙස ය. ව්‍යාජ සංඛ්‍යාලේඛන නිර්මාණය කරමින් අසරණ වීදි සුනඛයන්ව විනාශ කිරීමේ දුෂ්ට අරමුණු ජෝර්ජියානු වැසියන් තුළ නැත. එනිසාම අද වන විට ජෝර්ජියාව ශීඝ්‍ර දියුණුවක් ලබා තිබේ. අපේ රට සංවර්ධනය අතින් ඉදිරියට නොයා බකල් ගැසීමට ඉහත සඳහන් රාජ්‍ය ඇමැතිවරයාගේ බඳු නොදියුණු පටු අදහස් සමාජය තුළ වැපිරී තිබීම ද හේතු වී ඇති බව පෙනෙයි.

හෘදවේද විශේෂඥ වෛද්‍ය
මහාචාර්ය නාමල් විජයසිංහ
(ජෝර්ජියාවේ සංචාරයකින් පසු)

advertistmentadvertistment
advertistmentadvertistment