සේතු සමුද්‍රම් ආරම්භ කර දලයි ලාමාගෙන් අවසන් කිරීම

632

ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීනයේ මෙන්ම ඉන්දියාවේද සහය අනිවාර්යයෙන් අවශ්‍යවේ. මේ දෙරටින් එක් රටක් හෝ අමනාප කර ගැනීම සූදුසු නැත. දිල්ලියේ උවමනාව මෙන්ම බිජිං ආණ්ඩුවේ උවමනාවන්ද අපේ රටට හානියක් නොවන ආකාරයට කළමනාකරණය කළ යුතුය. මේ පිළිබඳව වත්මන් ආණ්ඩුවද වඩා විචක්ෂණව කටයුතු කළ යුතුය. එබැවින් ටිබෙට් ආධ්‍යාත්මික නායකයාට දළදා වඳින්නට සුදුසු කාලය මෙය නොවන බව කරුණා පෙරදැරිව සටහන් කළ යුතුය.

මන්නාරම් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධිය සම්බන්ධ කරමින් ඉන්දීය අර්ධද්වීපය වටා අඛණ්ඩව යාත්‍රා කළ හැකි මුහුදු මාර්ගයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භයට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව පසුගිය බ්‍රහස්පතින්දා ඒකමතිකව යෝජනා සම්මත කර තිබිණි. ඇත්තෙන්ම සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය යනු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොගැඹුරු සමුද්‍ර සන්ධියේ නාවික මාර්ගයක් නිර්මාණය කිරීමට යෝජිත ව්‍යාපෘතියකි. මේ හරහා ඉන්දීය අර්ධද්වීපය වටා අඛණ්ඩව යා හැකි මුහුදු මාර්ගයක් නිර්මාණය වන අතර එම නැව් මාර්ගය භාවිත කරන නැව් වලට ශ්‍රී ලංකාව වටා යෑමට අවශ්‍යතාවයක් මතුවන්නේ නැත. මෙය ලංකාවට කිසිසේත් ගුණදායක නැත. එය අපේ ආර්ථිකයට මාරාන්තික පහරකි. ලංකාවට මර උගුලක් අටවන ඇළකි. මෙයට විරුද්ධව උතුරේ ධීවරයෝ සටන් කළ යුතුය. නැත්නම් ඔවුනගේ ජීවිකාව විනාශ වී යනු ඇත. එහෙත් තමිල්නාඩුව සුපුරුදු සිංහල විරෝධය පෙරදැරිව මේ කල්ගිය ව්‍යාපෘතිය පණගන්වන්නට උත්සහ දරයි.

සේතු සමුද්‍රම් ආරම්භ කර දලයි ලාමාගෙන් අවසන් කිරීම

කෙසේ නමුත් තමිල්නාඩු ප්‍රාන්ත රජය සම්මත කරන ලද යෝජනාවේ සඳහන් වන්නේ ඇතැම් බලවේග තවත් සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය ප්‍රමාද කිරීමට ගන්නා උත්සාහය ඉන්දියාවේ සංවර්ධනයට බාධාවක් බවයි. සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා හොඳ අවස්ථාවක් ලැබෙන බවත් එමගින් නව රැකියා අවස්ථා උත්පාදනය වන බවත් තමිල්නාඩු මහ ඇමැති ස්ටාලින් මහතා අවධාරණය කර ඇත. 1998 දී එවක පැවති භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ අගමැති වජ්පායි මේ සඳහා අවසර ලබා දී තිබිණි. 2005 ජූලි 2 වන දින එවක කොන්ග්‍රස් අගමැති මන්මෝහන් සිං විසින් සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රුපියල් මිලියන 2,427 ක් වෙන් කිරීමෙන් පසු මෙහි කටයුතු ආරම්භ විය. කෙසේ වෙතත් භාරතීය ජනතා පක්ෂය ඇතුළු විවිධ පාර්ශ්වවලින් එල්ල වූ විරෝධය හේතුවෙන් 2007 දී අත්හිටුවන ලද මෙම ව්‍යාපෘතිය කිසි විටෙකත් යළි ක්‍රියාත්මක වූයේ නැත. නමුත් දැන් ස්ටාලින්ට මෙය ආරම්භ කිරීමට බලවත් උවමනාවක් තිබෙන අතර තමිල්නාඩුවේ භාරතීය ජනතා පක්ෂ කණ්ඩායමද මෙයට සහය පළකර ඇත.

මීට වසර තුනකට පෙර තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කළහම් පක්ෂයේ නායකයා වන බාලු අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබුණේ වහාම සේතු සමුද්‍රම් නෞකා මාර්ගය ඉදි කිරීමට කටයුතු කළ යුතු බවයි. ඔහු මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හේතු ලෙස දක්වා තිබුණේ මේ වන විට චීනය ඉන්දියාවට එරෙහිව කටයුතු කිරීමයි. මේ නෞකා මාර්ගය විවර කර ගැනීමෙන් ඉන්දියාවට අතිවිශාල ආදායමක් උපයා ගත හැකි බව ඩීඑම්කේ පක්ෂයේ නායකයා අගමැතිවරයාට අවධාරණය කර තිබිණි.සේතු සමුද්‍රම් යනු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙන් කරන පටු නොගැඹුරු මුහුදු තීරයට ඉන්දියාව ලබාදී ඇති නමයි. මේ මුහුදු තීරය පාරිසරික සහ ජෛව විවිධත්වය අතින් මුළු ලොවටම ඉතා වැදගත් කලාපයකි. විශේෂයෙන්ම සාගර ජීව විවිධත්වය අතින් මේ ප්‍රදේශය ඉතා පොහොසත් වන අතර මේ කලාපයට ආවේණික මසුන්ද රාශියකි. ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළාසන්න ප්‍රදේශයේ සිට ගලා යන මන්නාරම් දිය වැල ආශ්‍රිතව නම් කර ඇති මන්නාරම් සාගර ජීව ජාතික උද්‍යානය පිහිටා ඇත්තේද මේ අතිසංවේදී සමුද්‍ර කලාපයේය. මෙහිදී බොහෝ දෙනා අදහස් කර සිටියේ සුවස් ඇළ සහ පැනමා ඇළ පරිද්දෙන් යුරෝපයේ සහ අරාබියේ සිට පැමිණෙන නෞකාවලට ශ්‍රී ලංකාව වටා යාත්‍රා කිරීමෙන් තොරව ඉන්දියාව, බංග්ලාදේශය පසුකර නැගෙනහිර සහ ගිනිකොන ආසියාවට ප්‍රවිශ්ඨ වීමේ මාර්ගයක් තනා ගැනීමයි. මේ සම්බන්ධව ආරම්භක යෝජනවක් ඉදිරිපත් වන්නේ 1861 තරම් ඈත අතීතයේදීය. ඒ ඉන්දියාව යටත් කරගෙන සිටි බි්‍රතාන්‍ය ජාතිකයන්ගෙනි. ඔවුන්ගේ පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ නෞකාවලට අඩු කාලයකින් යුරෝපයේ සිට නැගෙනහිර ආසියාවට පිවිසීම සඳහා මේ මාර්ගය සකස් කළ යුතු බවට 1861දී“ටවුන්ෂෙන්ඩ් යෝජනාව” නම් යෝජනාවක් මගින් ඉදිරිපත් විය. එතැන් සිට නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා දක්වා සේතු සමුද්‍රම් නෞකා මාර්ගය ඉදිකිරීම සම්බන්ධව ඉදිරිපත් වී ඇති යෝජනා කොතෙක්දැයි කිව නොහැකිය. 2010 වසරේදී මේ යෝජනාව ඉතා ප්‍රබල ලෙස ඉදිරිපත් වූ අතර එවකට අගමැතිවූ කොංග්‍රස් පක්ෂයේ මන්මෝහන් සිං සේතු සමුද්‍රම් ක්‍රියාවට නැංවීමේ ප්‍රබල අධිෂ්ඨානයෙන් ක්‍රියා කළේය. එතැන් සිට ඉන්දියාවේ අගමැති ධුරය සඳහා ජනතාවගෙන් බලය ඉල්ලා සිටි සෑම පුද්ගලයෙක්ම තම ප්‍රතිපත්ති ප්‍රකාශයට සේතු සමුද්‍රම් පණ ගැන්වීමේ යෝජනාව එක් කර සිටි නමුදු එය මේ දක්වා යෝජනාවක් පමණක්ම වී තිබේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් අතීතයේ පැවති ගොඩබිම් තීරුව වෙනුවට මේ වන විට පවතින්නේ වැලි පර තීරයකි. නෞකා මාර්ගය ඉදි කිරීමට නම් මේ වැලිපර ඉවත් කළ යුතු වේ. එවිට සිදුවන පාරිසරික හානිය ගැන එම කමිටුවේ විශේෂ සැලකිල්ල යොමු වී තිබිණි. එමෙන්ම අතිසංවේදී සමුද්‍ර කලාපයක් හරහා නෞකා ගමනාගමනය සිදුවීමෙන් එහි සමුද්‍ර දූෂණය සිදුවීම වැළැක්විය නොහැකි වනු ඇත. අනික් අතට මේ ප්‍රදේශයේ වැලිපර හාරා මාර්ගය සකස් කළද ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත්තේ ටොන් 30,000ට අඩු බරින් යුත් නෞකාවලට පමණක් වනු ඇත.

තමිල්නාඩුව විටක කොටි නැගිටුවීමට උත්සහ කරන ආකාරයට ලංකාවට කොනිත්තීම සඳහා සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට දතකයි. එහෙත් මෙය සැබෑ විය යුතු නැති සිහිනයකි. ලංකා රාජ්‍යට එරෙහි ව්‍යාපෘතියකි. දිල්ලි ආණ්ඩුවට වුවද මෙය ආරම්භ කිරීමට උනන්දුවක් නැත්තේ හින්දු ආගමික මතවාදයන්ටද මෙයින් හානියක් වන නිසාය. රාම සේතු පාලම මේ ඇළ නිසා විනාශ වීම හින්දුන්ගේ කෝපයට හේතුවිය. ඇත්තෙන්ම රාම් සේතු පාලම පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපතත් ඉන්දියාවේ රාමේෂ්වරමේ පම්බන් දූපතත් අතර මුහුදේය. එය සැතපුම් 30ක පමණ දිගින් යුතුය. රාමායණය අනුව ශ්‍රී ලංකාවේ රාවණා රජු රාම කුමරුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන ලංකාවට පැමිණියේය. ඇය ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යෑමට රාම කුමරු ඔහුගේ වානර සේනාව ලවා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මෙම පාලම ඉදි කළ බව එහි සඳහන්ය.

සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය කතා වෙද්දී තවත් කතාවක් පසුගිය දිනවල ඉන්දියාවෙන් ඇසෙන්නට විය. ඒ දලයිලාමාතුමාට ලංකාවට පැමිණෙන ලෙසට මෙරට ස්වාමින්වහන්සේලා කිහිපනමක් කළ ආරාධනයක් පිළිබඳවයි. එහෙත් මෙය මේ අවස්ථාවේ සුදුසුද? ලංකාව අර්බුදයට වැටී තිබෙන මේ අවස්ථාවේ චීනය තරහ කර ගැනීම කිසිසේත් සුදුසු නැත. දලයිලාමා ලංකාවේ බෞද්ධයන් ගැන වඩා ආදරයෙන් කතා කළ කෙනෙක්ද නොවේ. ඔහුට බෞද්ධකම මතක් වන්නේ චීනයට රිදවන්නට පමණකි. පසුගිය දෙසැම්බර් 28 වැනිදා බුද්ධගයාවේ පැවති ජාත්‍යන්තර භික්ෂු හුවමාරු වැඩසටහනක් අතරතුරදී ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ දූත පිරිසට ටිබෙට් දේශයේ ආධ්‍යාත්මික නායක ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් හමුවී තිබේ. එහිදී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. දලයිලාමා හිමියන් ලංකාවට පැමිණියහොත් මෙරට ප්‍රශ්න නිමවී ආයෝජකයන් පැමිණ මහා ආශ්චර්යයක් සිදුවනු ඇතැයි පවසන පිරිසක්ද බිහිව සිටිති. නමුත් එයින් සිදුවන්නේ රාජතාන්ත්‍රික ගැටුමකට ලංකාව හිරවීම පමණකි. දලයිලාමාතුමා ලංකාවට පැමිණ දළදා මාලිගාව වැඳපුදාගෙන යන අතර ටිබෙටයට නිදහස දෙන්නැයි ප්‍රකාශ කළහොත් එයින් සිදුවන්නේ ලංකා ආණ්ඩුවේ ගෙල සිරවීම පමණකි. ඇමරිකානු ඉන්දීය උවමනාවන් අනුව දලයිලාමාතුමාගේ ලංකා සංචාරය සිදුවිය යුතු නැත. මේ හරහා චීනය තරහාවීම ලංකාවට මාරාන්තික වනු ඇත. පසුගිය සතියේ අස්ගිරි ගෙඩිගේ විහාරයේදී චීන වැඩබලන තානාපති හු වෙයි මහතා හමුවූ අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි නාහිමියන්ද පැවසුවේ චීනයේ සිත් රිදවන කටයුත්තකට උභයවිහාරය අනුමැතිය ලබා නොදෙන බවයි. එය අගය කළ යුත්තකි. 2015 වසරේදී ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලෙයිලාමාතුමන් මෙරට සංචාරයකට පැමිණීමට සූදානම් වුවත් එය සිදු නොවීය. චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා හදිසියේ ලංකාවට පැමිණ මේ පිළිබඳව මහා සංඝරත්නයෙන් කරුණු විමසා ඇති බවද මාධ්‍ය ඔස්සේ පළවී තිබිණි.

ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීනයේ මෙන්ම ඉන්දියාවේද සහය අනිවාර්යයෙන් අවශ්‍යවේ. මේ දෙරටින් එක් රටක් හෝ අමනාප කර ගැනීම සිදුසු නැත. දිල්ලියේ උවමනාව මෙන්ම බිජිං ආණ්ඩුවේ උවමනාවන්ද අපේ රටට හානියක් නොවන ආකාරයට කළමනාකරණය කළ යුතුය. මේ පිළිබඳව වත්මන් ආණ්ඩුවද වඩා විචක්ෂණව කටයුතු කළ යුතුය. එබැවින් ටිබෙට් ආධ්‍යාත්මික නායකයාට දළදා වඳින්නට සුදුසු කාලය මෙය නොවන බව කරුණා පෙරදැරිව සටහන් කළ යුතුය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment