හතළිස් වසරක් පිරෙන පොලිස් විශේෂ කාර්ය බළකාය

588

1970 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ සිදු වූ කැරළිකාර තත්වයන් හේතුකොට ගෙන පොලිස් ස්ථාන විනාශ වීම හා කැරළිකරුවන් විසින් අත්පත් කර ගැනීම තුලින් නීතිය බලාත්මක කිරීම අභියෝගයට ලක්විය. එමෙන්ම එම දශකයේ අගභාගය වන විට උතුරු පලාතේ බෙදුම්වාදී කැරළිකරුවන් විසින් පොලිස් ස්ථාන වලට පහර දීම සහ පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම ක්‍රමයෙන් වැඩි වූ අතර එම තත්වය පාලනය කිරීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් රජය විසින් හිටපු අමාත්‍යවරයෙකු වූ ජේ.ඩබ්. සුභසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව කමිටුවක් දී පත් කරන ලදී. ඒ අනුව පවතින තත්වය පාලනය කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තුල හමුදා පුහුණුව ලත් පොලිස් ඒකකයක් ස්තාපිත කිරීමට තීරණය වූ අතර එහි ප්‍රථිපලයක් ලෙස 1983.03.01 වන දින විශේෂ කාර්ය බලකාය නිල වශයෙන් ස්ථාපිත කරන ලදී.

ප්‍රථමයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කල සුදුසුකම් ලත් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන ලද නිලධාරීන් 60 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තෝරා කළුතර පොලිස් විද්‍යාලය වෙත මූලික පුහුණුව සඳහා කැඳවන ලද අතර වැඩිදුර පුහුණුව අම්පාර යුධ හමුදා සටන් පුහුණු පාසලේ දී ලබා දෙන ලදී. පුහුණු කටයුතු භාරව යුධ හමුදාවේ එවකට මේජර් ආනන්ද වීරසේකර හා ලුරෑතිනන් සුමිත් මානවඩු යන මහත්වරු කටයුතු කරන ලදි. මෙම ඒකකය ආරම්භයේ දී එහි අණදෙන නිලධාරී වශයෙන් සහකාර පොලිස් අධිකාරී බෝධි ලියනගේ මහතා කටයුතු කර ඇත.

විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන අරමුණ වූයේ පොලිස් ස්ථාන වල ආරක්ෂාව හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ඇති පෙදෙස් වලදී පොලිසියට සහය වීමයි. ඒ අනුව යුධ හමුදා පුහුණුව ලත් එක් කණ්ඩායමක් 1983 ජූලි මාසයේ ඇති වූ වර්ගවාදී කෝලහල මර්ධනය කිරීම සඳහා වැල්ලවත්ත ප්‍රදේශයේ ද අනෙක් කණ්ඩායම යාපනය ප්‍රදේශයේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සඳහා ද යොදවන ලදී. මෙම නිලධාරීන් විසින් රාජකාරී සිදුකිරීමේ දී දක්වන ලද කාර්යක්ෂමතාව හා අපක්ෂපාතීත්වය ගැන පැහැදුනු එවකට පැවති රජය විසින් ඔවුන් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නිල නිවසේ ආරක්ෂාව සඳහා යොදවා ඇත.

එවකට විශේෂ කාර්ය බලකායේ මූලස්ථානය කොළඹ 07, වෝඩ් පෙදෙසෙහි පිහිටුවා තිබූ අතර ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ ඒ මහතාගේ පුත්‍රයා වන රවී ජයවර්ධන මහතා විශේෂ කාර්ය බලකාය වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගත් අතර බි්‍රතාන්‍ය යුධ හමුදාවේ SAS (Special Air Service Regiment) බලකායේ විශ්‍රාමික සාමාජිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් දිවයිනට පැමිණ විශේෂ කාර්ය බලකාය සඳහා වැඩිදුර පුහුණුව කටුකුරුන්ද පුහුණු පාසලේ දී 1984.02.18 වන දින ආරම්භ කරන ලදී.

එලෙස රාජකාරියට එක් වූ මුල්ම කණ්ඩායම රාජකාරියේ දී දක්වන ලද විශිෂ්ට කාර්යශූරත්වය මත නැගෙනහිර ප්‍රදේශයේ කල්ලඩි, කලවංචිකුඩි, කරදියනාරු ප්‍රදේශ වල මුල්ම කඳවුරු පිහිටුවා එම ප්‍රදේශයේ විශිෂ්ට මෙහෙවරක ආරම්භය සනිටුහන් කරන ලදි. අනතුරුව විශේෂ කාර්ය බලකායට නව බඳවාගැනීම් ආරම්භ කර නැගෙනහිර ප්‍රදේශය ආවරණය වන ලෙස කඳවුරු ස්ථාපිත කිරීම මගින් එම ප්‍රදේශ වල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අඩපණ කිරීමට තම දායකත්වය ලබා දෙන ලදි.

මෙයට අමතරව ප්‍රභූ ආරක්ෂක රාජකාරී, සෝදිසි හා බෝම්බ නිශ්ක්‍රීය රාජකාරි, එවකට රටේ පැවති තත්ත්වය අනුව කැරළි මර්ධනය, මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලීසියට සහය විම පොලිස් විශේෂ කාර්ය බලකායට පැවරුණු මූලික කාර්යයන් වේ.

මෙතෙක් විශේෂ කාර්ය බලකාය ආ ගමන් මගේ එහි මුල්ම අණදෙන නිලධාරී පොලිස් අධිකාරි බෝධි ලියනගේ මහතාද ඉන් අනතුරුව පොලිස් අධිකාරී ඩී. වීරකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෂර්නි විජේසූරිය මහතා, නියෝජ්‍ය පොලිස්පති ලයනල් කරුණාසේන මහතා, නියෝජ්‍ය පොලිස්පති ඩී. වීරකෝන් මහතා, නියෝජ්‍ය පොලිස්පති නිමල් ගුණතිලක මහතා, නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා, නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල්. සරත්චන්ද්‍ර මහතා, නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්.එම්.සී. රණවන මහතා, නියෝජ්‍ය පොලිස්පති ජේ.කේ.ආර්.ඒ. පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා, නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා ද අතීත අණදෙන නිලධාරීන් ලෙස කටයුතු කළ අතර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා වර්තමානයේ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ලෙස අද්විතීය නායකත්වයක් ලබා දෙනු ලබයි.

හතළිස් වසරක් පිරෙන පොලිස් විශේෂ කාර්ය බළකාය

විශේෂ කාර්ය බලකාය ශ්‍රී ලංකා පොලීසියේ විශිෂ්ටම නිලධාරීන්ගෙන් සමන්විත දෙස් විදෙස් ගෞරවාදරයට පත්වු කොළපැහැති හිස්වැසුම (Green Beret) පළදින දකුණු ආසියාවේ විශිෂ්ටම අතුරු හමුදාවයි. ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂඥයින් වන පොලිස් විශේෂ කාර්ය බළකාය දෙස් විදෙස් කීර්තියට පත් අතුරු හමුදාවක් ලෙස මාලදිවයින, ඉන්දියාව, පකිස්ථානය වැනි රටවල් සහ ත්‍රිවිධ හමුදාවන්ට අයත් නිලධාරීන් විශේෂ කාර්ය බලකාය වෙතින් ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධව පුහුණුව ලැබීමම ඔවුන්ගේ විශිෂ්ටත්වයට සාක්ෂි දරයි.

පළමුවන ඊළාම් යුද්ධය (1983 ජූලි මස 23 සිට 1987 ජූලි 29)

පළමු ඊළාම් යුද්ධය 1983 ජූලි මස 23 වන දින ආරම්භ වීමත් සමග එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය නැගෙනහිර ප්‍රදේශයේ සක්‍රීයව ක්‍රියාත්මක වන්නට විය. 1985 අප්‍රේල් 03 වන දින එරාවූර් පොලිස් ස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරයේ දී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරය හමුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට දැඩි හානි සිදු වූ අතර පොලිස් ස්ථානය බේරා ගැනීමත් සමග එවකට පැවති රජයේත් ආරක්ෂක හමුදාවන්ගේත් ඉතා ඉහළ පැසසුමකට ලක්විය.

එම ප්‍රහාරයත් සමග නැගෙනහිර පළාත ආවරණය වන පරිදි කිරාන්, කල්ලඩි, කලවංචිකුඩි, අක්කරපත්තුව යන ප්‍රධාන කඳවුරු 04 ස්ථාපිත කළ අතර එමගින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඬපැවැත්වීම සාර්ථකව සිදු කරන ලදි. තවද විශේෂ කාර්ය බළකායට ඉඳුරාම නිලධාරීන් බඳවා ගැනීමේ අවස්ථාව හිමි වූ අතර එමගින් විශේෂ හැකියාවන් ඇති නිලධාරීන් බඳවා ගැනීමට හැකි විය.

නැගෙනහිර පළාතේ වනගත ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් වන කරදියනාරු කඳවුර 1986 පෙබරවාරි මස විශේෂ කාර්ය බලකාය ප්‍රහාර එල්ල කර අත්පත් කර ගත් අතර අම්පාර ප්‍රදේශයේ වනගත භූමියක් වූ කංචිකුඩිආරු ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් මැඬ පැවැත්වීම සඳහා හිටපු පොලිස්පති එවකට සහකාර පොලිස් අධිකාරී එන්.කේ. ඉලංගකෝන් සහ සහකාර පොලිස් අධිකාරී ජයන්ත ගමගේ යන මහත්වරු නායකත්වය දෙමින් ත්‍රස්තවාදය මර්දනය වේගවත් ව සිදුකර කරන ලදි.

1987 ජූලි මස දී ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ කාර්ය බලකායේ නැගෙනහිර කඳවුරු ව්‍යාප්තිය නැවතුනු අතර, එම වාතාවරණයට සමගාමීව දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් ඇති වූ භීෂණය මැඬ පැවැත්වීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නියමයෙන් නැගෙනහිර ප්‍රදේශයේ කඳවුරු කිහිපයක් ඉවත් කර දකුණු පළාතේ කඳවුරු කිහිපයක් ආරම්භ කරන ලදි. මහජන සාමය කඩවීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා අවම කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය සිදුකරන ලද සේවය වර්තමානයේ දීත් ශ්‍රී ලංකාවාසීන් මෙනෙහි කරනුයේ සුවිශේෂී මෙහෙවරක් ලෙසිනි.

දෙවන ඊළාම් යුද්ධය (1990 ජූනි මස 10 සිට 1995 ජනවාරි) ආරක්ෂක හමුදාවට හා පොලිස් ස්ථානයන්ට ප්‍රහාර එල්ල කරමින්ද පොලිස් නිලධාරීන් ප්‍රාණ ඇපයට ගනිමින්ද, 1990.06.10 දින දියත් වූ දෙවන ඊළාම් යුද්ධය ඉදිරියේ නැගෙනහිර සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීම සඳහා භට පිරිස් මොනරාගල, ලාහුගල ප්‍රදේශ හරහාත්, නැගෙනහිර දකුණු ප්‍රදේශයේ ව්‍යාප්ත වී සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කඳවුරු ඉලක්ක කර ගනිමින් ආරම්භ කළ ක්‍රියාන්විතය සමග නැවත වරක් ත්‍රස්තවාදය මර්දන සටනට විශේෂ කාර්ය බළකායේ දායකත්වය 30 වසරක එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ලැබිණි.

විශේෂ කාර්ය බළකාය දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවා ඇති කඳවුරු 74 ක් මගින් ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට ප්‍රමුඛව ක්‍රියා කරමින් සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම, නීති විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීම, ජාත්‍යන්තරය දක්වා දිව යන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කරමින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

ගැනීම, ස්වභාවික පරිසර සම්පත් ආරක්ෂා කරමින් අනාගත දායාදයන් සුරැකීම, ස්වභාවික විපත්වලදී අභීතව ක්‍රියා කිරීම, ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් දකුණු ආසියාවේ විශේෂඥයන් ලෙස ක්‍රියා කරමින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට නිරන්තර සහයෝගය ලබා දෙමින් මහජන ජීවිත හා දේපළ ආරක්ෂාව වෙනුවෙන් වගවීමෙන් හා
වගකීමෙන් ක්‍රියා කරන ශ්‍රී ලංකා පොලිසියේ සාඩම්බර අභිමානය විශේෂ කාර්ය බලකායයි.

සංවිධානාත්මක අපරාධකරුවන්ට, පාතාල සාමාජිකයින්ට, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට, ස්වභාවික සම්පත් විනාශ කරන්නවුන්ට, ත්‍රස්තවාදය හා අන්තවාදී ක්‍රියාකාරකම්වල නිරතවන්නන්ට එරෙහිව පොලිස් විශේෂ කාර්ය බලකාය නීතිය ක්‍රියාත්මක කිරීමට නිරතුරුවම විමසිලිමත් දෑසින් යුතුව අදත්, හෙටත්, මතුවටත් රට තුළ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට පියවර ගනු ඇත. එසේම ස්වකීය හැකියාවෙන් සහ අද්විතීය පුහුණුවෙන් ලද ශික්ෂණය සහ අධිෂ්ඨානයත් අප්‍රතිහත ධෛර්යයත් ඔවුන්ගෙ පාඨය වන “නියතයි ජය” කරා රැගෙන යනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment