ළමා රෝහලට ඇතුළත් කළ කොවිඞ් හැදුණු දරුවෝ 12 ක් මිය ගිහින්…. ගෙදර ඉන්න දරුවාට වෛරසය ගෙනියන්නේ වැඩට යන අම්මායි තාත්තායි

531

කොවිඞ් වැළදීමෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ දරුවන් 12 දෙනකු මේ වනවිට මියගොස් ඇතැයි එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ‘‘දිවයින’’ ට ඊයේ (20 වැනිදා) පැවැසීය. දැනටමත් රෝහල් කොවිඞ් වැළඳුණු දරුවන් 160 දෙනෙකු පමණ ප‍්‍රතිකාර ලබමින් සිටින බවද හෙතෙම කීය. එසේම ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ 57 දෙනකුටද කොවිඞ් වැළඳී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය. මෙහිදී තවදුරටත් කතා කළ ළමා රෝහලේ අධ්‍යක්‍ෂවරයා මෙසේ ද කීය.

 පවතින දැඩි අවදානම් තත්ත්වය හමුවේ තමන් කුඩා දරුවන් ආරක්‍ෂා කරගන්න එක දෙමාපියන්ගේ වගකීමක් වෙනවා. ගෙදර ඉන්න දරුවන්ට මේ වෛරසය අරගෙන එන්නේ රැකියාවට යන අම්මා තාත්තා. ඒ නිසා දෙමාපියන් කොවිඞ් එන්නත ගත්තත් මේ වෛරසය දරුවන්ට අරගෙන එන්න හැකියාව තියෙනවා. ඒ නිසා දෙමාපියන් රැකියාවට ගිහින් නැවත ගෙදර ගිය ගමන් තමන්ගේ ඇඳුම් ටිකත් සෝදා දාලා පිරිසිදුවෙලා දරුවන් හමුවට යනවානම් ඉතා වැදගත්. විශේෂයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න.

 ඒ වගේම මේ දවස්වල දරුවන්ට අනවශ්‍ය විදිහට විටමින් වර්ග, විටමින් සී සහ වෙනත් පෙති වර්ග දෙන බවට අපිට දැනගන්න තියෙනවා. වෛද්‍ය උපදෙස්වලින් තොරව කුඩා දරුවන්ට එහෙම බෙහෙත් වර්ග දෙන්න එපා කියලා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

 තමන්ගේ දරුවන්ට උණක් සෙම්ප‍්‍රතිශ්‍යාවක්, ඇඟපතේ අමාරුවක් ඇත්නම් වහාම දරුවාව රෝහලකට රැගෙන යන්න. රෝගී තත්ත්වයෙන් දරුවෙක් ළමා රෝහලට ගෙනාවොත් අපි දරුවා ප‍්‍රතික්‍ෂේප කරන්නේ නැහැ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment