13,200ක් රැඳවිය හැකි තැනක 26,000ක් හිර කරලා – බන්ධනාගාර උතුරයි

231

මරණීය දණ්ඩනය නියම වූ 1,177ක්: ඒ අතර කාන්තාවෝ 12ක්
ජීවිතාන්ත සිරදඬුවම් නියම වූ 500ක්
අභියාචනා ඉදිරිපත් කළ 535ක්

දිවයින පුරා බන්ධනාගාරවල උපරිම වශයෙන් රැඳවියන් 13,200 ක් රැඳවීමේ හැකියාව ඇතත් මේ වන විට බන්ධනාගාර තුළ රැඳවියන් 26,000 ක් සිටින බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

මෙම රැඳවියන් පිරිස අතරින් 13,300 ක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත චෝදනා හේතුවෙන් බන්ධනාගාරගත වූවන් බවද ඒ මහතා කීය. බන්ධනාගාරවල සිටින සිරකරුවන් සංඛ්‍යාව 10,000 ක් වන අතර සැකකරුවන් සංඛ්‍යාව 16,000 ක් වේ.

දිවයිනේ සෑම බන්ධනාගාරයකම මේ වසර ආරම්භයත් සමඟ බන්ධනාගාරගත වන රැඳවියන්ගේ වැඩිවීමක් පෙන්වන බව සංඛ්‍යාලේඛනවලින් දක්නට ලැබෙන බව ද ඒකනායක මහතා කියා සිටියේය.

මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරගතව සිටින රැඳවියන් ගණන 1,177 කි. මෙම පිරිස අතර අනිවාර්යෙන්ම මරණීය දණ්ඩනය නියම වූ කාන්තාවෝ 12 ක් ඇතුළු 642 ක් වෙති. මරණ දණ්ඩනය නියම වී අභියාචනා ඉදිරිපත් කළ පිරිස අතර කාන්තාවෝ 15 ක් ඇතුළු 535 ක් වෙති. ජීවිතාන්ත සිරදඬුවම් නියම වූ 500ක් පමණද බන්ධනාගාරවල සිටිති.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment