6 ක් එක්ක අතුරුදන් වූ යාත්‍රාව සමග නාවික හමුදාව යළි සම්බන්ධ වෙයි

481

නාවිකයන් හය දෙනකු සමඟ අතුරුදන් වූ නාවික හමුදා යාත්‍රාව සමඟ යළිත් සබඳතා ඇතිකර ගැනීමට නාවික හමුදාව ඊයේ (18 වැනිදා) සමත්ව ඇත.

පාකිස්තාන මුහුදු සීමාවේ සිට බහුදින ධීවර යාත්‍රාවකින් මත්කුඩු තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන එන බවට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම යාත්‍රාව ගාල්ලට මුහුදු සැතපුම් විස්සක් පමණ ඈත මුහුදේ විශේෂ මෙහෙයුමක යෙදී සිටියදී නාවික හමුදාව සමඟ පැවති පණිවිඩ හුවමාරු බිඳ වැටීමෙන් අතුරුදන් විය.

මීට දින විස්සකට පමණ ඉහත එලෙස නාවික හමුදාව සහ යාත්‍රාව අතර වූ පණිවිඩ හුවමාරු බිඳ වැටී තිබිණි. එම සිද්ධියත් සමග අතුරුදන් වූ යාත්‍රාව සොයා නාවික හමුදාවේ නෞකා හතරක් දකුණු මුහුදු තීරය පීරමින් මෙහෙයුමක නිරත වුවද ඊයේ වන තෙක් අතුරුදන් වූ යාත්‍රාව පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොතිබිණි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු තීරයේ යාත්‍රා කරමින් තිබූ නෞකාවලටද අතුරුදන් යාත්‍රාව පිළිබඳ තොරතුරු ලබා දෙමින් ඒ පිළිබඳ නිරීක්‍ෂණයක යෙදෙන්නටද නාවික හමුදාව පියවර ගත්තේය.

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට එවන මත්කුඩු තොග සහිත බහුදින යාත්‍රා අත්අඩංගුවට ගැනීමේදී මෙම යාත්‍රාව සහ එහි සිටි නාවිකයෝ පසුගිය කාලයේ සාර්ථක මෙහෙයුම් රාශියක් දියත් කළහ.

එම නාවික යාත්‍රාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන්නට ඇති බවත් යාත්‍රාව සමඟ නැවත පණිවිඩ හුවමාරු ඇතිවූ මොහොතේම එය රැගෙන ඒම සඳහා නාවික හමුදා නෞකාවක් එය ගමන් කරමින් තිබූ මුහුදු සීමාවට ළඟා වූ බවත් උසස් නාවික හමුදා ප්‍රකාශකයෙක් පැවසීය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment