SLIIT ආයතනය ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් ජයග්‍රාහි ගමනක

249

ඕනෑම රටක ආර්ථික සංවර්ධනයට රටේ උගතුන් බිහිකරවීමේ සාධකය තුළින් විශාල දායකත්වයක් හිමිවීම නොරහසකි. මේ අනුව ශ‍්‍රී ලංකාවේ ද උගත් විද්වතුන් බිහිකරලීමේ කාර්යභාරය රජයට පමණක් සීමා නොකොට රාජ්‍ය නොවන ආයතන හරහා ද උසස් අධ්‍යාපනයෙන් අනතුරුව ගෝලීය ආර්ථිකයට අවැසි ශ‍්‍රම බළකාය නිර්මාණය කරලීමේ උත්තුංග කාර්යයට උරදෙන ප‍්‍රධාන ආයතන අතුරින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කේන්ද්‍ර කර ගනිමින් බිහි වූ ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සුවිශේෂී වේ. වසර 22 ට අධික සාඩම්බර ඉතිහාසයක් හිමි SLIIT ආයතනය රටේ ඵලදායී වෘත්තිකයන් නිර්මාණය කරලීමේ කාර්යයේ ඉහළ ප‍්‍රතිශතයක් නියෝජනය කරයි. මෙවන් ජාතික මට්ටමේ ක‍්‍රියාවලියකට උරදුන් SLIIT ආයතනය පසුගියදා මහත් ආන්දෝලනාත්මක තත්ත්වයකට මුහුණ දුන් හේතුව කුමක් ද යන්න විමසා බැලූ අපට අවබෝධ වුණු තත්ත්වයේ සමාලෝචනයක් ලෙසින් මෙසේ ඉදිරිරිපත් කර සිටිමු.

19 වන සියවස අගභාගයේ මෙරට පැවති සාම්ප‍්‍රදායික අධ්‍යාපනික රටාව විශාල පෙරළියකට නතුවෙමින් උසස් අධ්‍යාපනයට සමගාමීව වෘත්තීය සුදුසුකමද රැකියා වෙළෙඳපොළට අත්‍යවශ්‍ය සාධකයක් බවට පරිවර්තනය විය. සාම්ප‍්‍රදායිකව එකල සිසුවෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ උසස් පෙළ අවසන් වෙත්ම ඒ ඒ සුදුසුකම්වලට ඔබින රැකියා අවස්ථාවන්ට සම්බන්ධ වීම පැවතියද එවකට ගෝලීය ආර්ථීකයේ කැපීපෙනෙන වර්ධනයක් වේගවත් වෙමින් රැකියා වෙළෙඳපොළ තත්ත්වයද ශීඝ‍්‍ර දියණුවකට හා ව්‍යාප්තියකට පත් වූ අවධියක් විය.

මේ පසුබිම යටතේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඉතාම සුවිශේෂී ස්ථානයක් හිමිවිය. මෙවකට මොරටු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය හා පරිගණක සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ මහාචාර්ය ලලිත් ගමගේ මහතා තම පෞද්ගලික අත්දැකීම් හා ක්‍ෂේත‍්‍රයේ පරිපූර්ණ විශිෂ්ට විද්වතකු වශයෙන් අනාගත තොරතුරු තාක්ෂණ ක්‍ෂේත‍්‍රයේ අවශ්‍යතාව හොඳින් හඳුනාගෙන එවකට පැවති රජයට කාලෝචිත යෝජනාවක් යොමු කරලීය. එනම් මොරටුව විශ්වවිද්‍යාලය තුළ තොරතුරු තාක්ෂණ ආයතනයක් පිහිටුවීමයි. එහි ප‍්‍රතිඵලයක් ලෙසට 1998 වසරේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා අභ්‍යන්තර හා ජාත්‍යන්තර වාණිජ හා ආහාර යන අමාත්‍යාංශ ඒකාබද්ධ කැබිනට් මණ්ඩලය දක්වා අදාළ යෝජනාව ගෙනයන ලදී. මෙම තත්ත්වයට රජයට මතු වූ කළමණාකරන කටයුතු පිළිබඳ නොයකුත් මතිමතාන්තර හේතුවෙන් අන්තර්කාලීන පිළිතුරක් ලෙසට ඇපයෙන් සීමිත සමාගමක් පිහිටුවා ඒ හරහා තොරතුරු තාක්ෂණ පාඨමාලා මෙහෙයවීමට අනුමැතිය ලැබිණ.

මේ අනුව 1999 මාර්තු මාසයේ ඇපයෙන් සීමිත සමාගමක් වශයෙන් ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය නමින් :SLIIT) ලියාපදිංචිය සිදු වී ඇත. එවකට මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරන්දර මහාචාර්ය සෑම් කරුණාරත්න මහතාගේ සහභාගීත්වයෙන් හා මහාචාර්ය ලලිත් ගමගේ මහතාගේ කළමණාකාර අධ්‍යක්ෂක ධුරයෙන් සමන්විතව SLIIT ආයතනය 1999 වර්ෂයේ බිහි වී ඇත. 1999 සැප්තැම්බර් මස අධ්‍යයන වර්ෂ දෙකකින් සමන්විතව තොරතුරු තාක්ෂණ පාඨමාලාව ආරම්භ කෙරුණි. මේ අනුව කුලී පදනම මත ලබාගත් කොල්ලූපිටිය ලංකා බැංකු මර්චන්ට් කුලූනෙහි SLIIT ආයතනය ස්ථාපිත විය. මුල් අදියර සිසුන්ගේ ඉල්ලූම්පත් 3000 කට අධිකව ලැබුණ ද ඉඩ පහසුකම් සීමිත බැවින් සිසුන් 400ක් පමණක් සඳහා අවස්ථාව හිමි වුණි. ලිඛිත පරීක්ෂණයක් මගින් සිසුන් තෝරා ගැනුණි. මෙම ක‍්‍රියාවලිය මෙසේ සිදුකරන අතර නොහිතු ලෙසට විශ්වවිද්‍යාල සිසු විරෝධතාවකට ද මුහුණ පෑමට සිදු වූයෙන් මහාචාර්ය ලලිත් ගමගේ මහතා හා මහාචාර්ය සෑම් කරුණාරත්න මහතා විශ්වවිද්‍යාල පරිපාලන සේවයෙන් පූර්ණ වශයෙන් ම ඉවත් වූහ. තම කාලය හා ශ‍්‍රමය පුර්ණ වශයෙන් ම කැපකොට SLIIT ආයතන සිහිනය යථාර්ථයක් කර ගැනීමේ කාර්යයට සාර්ථක ලෙස නායකත්වය සපයා ඇත.

එවකට සිසුන් අතර ඉතාම ජනප‍්‍රිය හා ඵලදායී පාඨමාලාවක් ලෙසට පිළිගැනිමත් සමග ම වසරින් වසර සිසුන් ලියාපදිංචිය බලාපොරොත්තු නොවූ ආකාරයකට වැඩිවිය. පාඨමාලා සංයුතීන් නිරන්තරයෙන් අවධානයට යොමු කරවමින් එහි ඇති ගුණාත්මක බව වැඩි දියුණු කරවමින් ලොවට අවැසි තොරතුරු තාක්ෂණ නියමුවන් කුමන ආකාරයෙන් විය යුතු ද යන්න අවබෝධ කර ගනිමින් එයට සරිලන සේ සිසුන් දැනුමෙන් සන්නද්ධ කරවීම පිළිබඳව මහාචාර්ය ලලිත් ගමගේ මහතාගේ නිරන්තර උත්සාහය විය.

අධ්‍යක්ෂක මණ්ඩලයේ අප‍්‍රතිහත ධෛර්යය මුදුන් පමුණුවා ගනිමින් සාර්ථක ඉදිරි ගමනක් ආරම්භ කළ SLIIT ආයතනයට වරින් වර දේශපාලන මැදිහත්වීම තුළින් ආයතන ප‍්‍රගතියට විවිධ බාධා ඇති වූ නමුත් ඒ සෑම කඩුල්ලකින්ම සාර්ථකව ජය ගැනීමට මහාචාර්ය තුමාගේ හා අධ්‍යක්ෂක මණ්ඩලයේ නොමඳ උත්සාහය හේතුවිය.
SLIIT ආයතනය ඉතා කෙටි කාලපරාසයක් තුළ වඩාත්ම ජනප‍්‍රිය තොරතුරු තාක්ෂණ විෂය ක්ෂේත්‍රයේ ඩිප්ලෝමා පාඨමාලා තුළින් උසස් තත්ත්වයෙන් හා පරිපූර්ණ දැනුමින් යුතු තොරතුරු තාක්ෂණ ශ‍්‍රමිකයන් දෙස් විදෙස් අවශ්‍යතා අනුව බිහිකරලීමේ වැදගත් කාර්යභාරය ඉසිලීය. මේ අනුව SLIIT ආයතනය ඕස්ටේ‍්‍රලියාවේ Curtin විශ්වවිද්‍යාලය හා IBM, Cisco,Microsoft ආයතන සමග ද සහයෝගීතාවක් ඇතිකර ගැනීමේ ප‍්‍රථම ලාංකික ආයතනය බවට පත්විය. තව ද උපාධි ප‍්‍රදානය කිරීමේ හිමිකම සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අනුමැතිය හිමි විය.

මේසා විශාල කාර්යභාරයක් සිදුකළ ද රජයට අනුබද්ධ නොවූ ලාභ ලබන ස්වාධීන ආයතනයක් ලෙසට පාලනය විය. මේ අතරතුර SLIIT ආයතනයේ ප‍්‍රගතිය පිළිබඳව සෑහීමකට පත් වීමෙන් දෝ 2000 වසරේ දී පැවති රජය විසින් ලබා දිය හැකි යෝජනාව ඉදිරිපත් කර ඇත. මේ වන විට කැබිනට් අනුමැතිය ලැබෙන ප‍්‍රමාදයන්ගෙන් රැක ගැනීමට ආයෝජන මණ්ඩලයෙන් ලද ‘කර්මාන්ත ප‍්‍රවර්ධන අරමුදලින්’ සහ සභාපතිතුමා හා කළමණාකාර අධ්‍යක්ෂකතුමාගේ පෞද්ගලික මූල්‍ය දායකත්වය යොදවමින් SLIIT ආයතනයේ කටයුතු ආරම්භ වූ අතර රජයේ කිසිදු නිල මැදිහත්වීමක් නොතිබිණි. රජයේ මූල්‍ය ප‍්‍රතිපාදන නොලැබුණ ද විවිධ අමාත්‍යාංශය යටතේ ගැසට් කළ ආයතනයක් වශයෙන් ක‍්‍රියාත්මක විය.

මේ පසුබිම යටතේ වසරින් වසර ඉහළ ඉල්ලූමක් පැවතීමෙන් නව බලාපොරොත්තුවකින් යුතුව මාලබේ මණ්ඩපය නිර්මාණය කිරීමේ අදහස පැනනැගුණි. මේ සඳහා මණ්ඩපය ගොඩනැගීමට මහපොළ භාරකාර අරමුදල හා සම්බන්ධ විය. මේ හේතුවෙන් මහපොළ භාරකාර අරමුදලට අයත් මාලබේ පිහිටි ඉඩමක් හා ඉදිකිරීම් කටයුතු සඳහා රු. මිලියන 500 ක් ලබා දෙන ලෙසට එකඟව ඉදිකිරීම් ආරම්භ කරන ලදී. 2001 වසරේ රජයන් වෙනස් වීම සමග ම පොරොන්දු වූ පරිදි අරමුදල් ලබා දීම අත්හිටුවීමෙන් ආයතනයට මුදල් අර්බුදයකට මුහුණ දීමට සිදු විය. මේ වන විට රු. මිලියන 500 න් රු. මිලියන 373 ක අරමුදලක් ලබා දී තිබුණි. මෙයින් නොනැවතී ඉතිරි නිම කිරීම සිදුකර ගැනීම සඳහා මහාචාර්ය ලලිත් ගමගේ මහතා තම පෞද්ගලික ඇපමත DFCC බැංකුවෙන් ලබාගත් ණය මුදලින් 2002 වන විට මාලබේ මණ්ඩපයේ දෙවෙනි අදියර සාර්ථකව අවසන් කර ඇත. වරින් වර මෙවන් රාජ්‍ය මැදිහත් වීමෙන් ආයතනයේ ප‍්‍රගතියට යම් යම් බාධා පැමිණිය ද ආයතනයේ කාර්යභාරය නොනැවතී ඉදිරියට ගෙන ගොස් ඇත.

2003 වසරේ දී නැවත මහපොළ භාරකාර අරමුදල සමඟ SLIIT ආයතනයට මාලබේ මණ්ඩපය පිහිටුවා ඇති ඉඩම බදු දීමට ද SLIIT ආයතනය ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කිරීමට ද ගිවිසුම්ගත වූ අතර එම අවස්ථාවේදී ද රජයන් වෙනස් වීමත් සමඟ ගිවිසුමේ ප‍්‍රකාර කටයුතු සිදුනොවී ය.

2005 වසරේ දී නැවත නව ගිවිසුමකට එළඹෙමින් මහපොළ භාරකාර අරමුදල විසින් මාලබේ මණ්ඩපය වසර 60 කට SLIIT ආයතනයට බදු දීමට එකඟ විය.

ඊට අමතරව රු. මිලියන 373 ක මුදල් දායකත්වය සහ බදු පදනම ලබා දී ඇති මාලබේ ඉඩම වෙනුවෙන් මහපොළ භාරකාර අරමුදල වෙත අධ්‍යක්ෂක මණ්ඩල ආසන 5 ක් ලබා දීමට ද, මාලබේ මණ්ඩපය විසින් පමණක් උපයනු ලබන මුදලින් 20% ක් ගෙවීමේ ගිවිසුමකට එලැඹිණි. මේ ආකාර වූ ගිවිසුම 2015 වසර රජයන් වෙනස් වන තුරුම ක‍්‍රියාත්මක විය. 2015 වර්ෂයේ දී පැවති රජය යටතේ විවිධ හේතුන් ඉදිරිපත් කරමින් මෙතෙක් ක‍්‍රියාත්මක වුණු 2005 වසරේ ගිවිසුම නැවත සමාලෝචනය කළයුතු බව SLIIT ආයතනයට දන්වා සිටින ලදී. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් මහපොළ භාර අරමුදල විසින් මුලින් දෙනු ලබන සියලූ මුදල් ඒ සඳහා පොලියකුත් සමග ගෙවන ලෙස ඉල්ලා සිටින ලදී. තවද මේ අතරතුර මාලබේ මණ්ඩපය සඳහා SLIIT ආයතනයට රු. මිලියන 2 කට අධික මුදලක් ආයෝජනය කර තිබුණි. ඉහත කී 2015 නව ගිවිසුම යටතේ රු. මිලියන 408. 5 ක මුදලක් මහපොළ භාරකාර අරමුදලට ගෙවීමට සිදුවිය.

එම මුදල භාරකාර අරමුදලේ එවකට සිටි සභාපතිවරයා විසින් භාර ගැනුණි. 2015 නව ගිවිසුම ප‍්‍රකාරව වසරකට රු. මිලියන 20 ක බදු කුලියකට සහ උපරිම වශයෙන් රු. මිලියන 45 දක්වා සෑම වසර 5 කට වරක් බදු මුදල වැඩි කරන ලෙසට නව ගිවිසුම අත්සන් කරන ලදී. එතැන් පටන් SLIIT ආයතනය හා මහපොළ භාර අරමුදල අතර ඇත්තේ බදු දීමනාකරු/බදු ගැනුම්කරු ගිවිසුම පමණි. මහපොළ භාරකාර අරමුදලේ සමාජිකයන්, අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් කර ගන්නා ලදී.

මේ කුමන අභියෝග පැමිණිය ද SLIIT ආයතනයේ අධ්‍යක්ෂක මඬුල්ල ඒ සියලූ අභියෝගයන් අබිබවමින් ආයතනයේ පාඨමාලා විවිධ ක්ෂේත්‍රයන් විවිධ විෂය පථයන් කේන්ද්‍ර කර ගනිමින් ඉතා අගනා උපාධි පාඨමාලාවන් ද සාර්ථකව පවත්වාගෙන යමින් එදා මෙදා තුර දස දහස් සංඛ්‍යාත දැනුමින් සන්නද්ධ වෘත්තිකයන් පිරිසක් රටට දායද කිරීමේ ජාතික මෙහෙවර සිදු කරමින් සිටී.

පසුගියදා කෝප් කමිටු වාර්තා විවාදයේ දී ද SLIIT ආයතනය පිළිබඳ මැති ඇමැතිවරුන් කිහිප දෙනකු අදහස් ප‍්‍රකාශ කර සිටියේ ද මේ අයුරිනි.

කෝප් කමිටු වාර්තා ගෙන හැර දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් පවිත‍්‍රා වන්නිආරච්චි ඇමැතිතුමිය ශ‍්‍රී ලංකා ආර්ථීකයට සේවයක් වන ලෙසට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් හා උපාධීධාරීන් බිහිකර ඇති අතර එයින් ශ‍්‍රී ලංකාවේ 4 වැනි විශාලතම විදෙස් මුදල් ඉපයීමේ ක‍්‍රියාකාරකමට SLIIT ආයතනය ප‍්‍රධාන දායකත්වයක් සපයන බව ද පවසා සිටියා ය.

එස්. බී. දිසානායක ඇමැතිතුමා ද මේ සම්බන්ධව අදහස් ප‍්‍රකාශ කරමින් SLIIT ආයතනයේ මූලාරම්භය සිට වර්තමානය දක්වා වූ සියලූ මූලික සිදුවීම් පියවරෙන් පියවර පෙළගස්වමින් දීර්ඝ විස්තරාත්මක කතාවක් ඉදිරිපත් කරමින් SLIIT ආයතනය කිසිවිටෙක මහපොළ භාර අරමුදලට, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට හා මොරටුව විශ්වවිද්‍යාලයට ද අයත් නොවූ බව පැවසීය.

හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීතුමා අදහස් ප‍්‍රකාශ කරමින් අවසානයේ SLIIT ආයතනය අපගේ තරුණ තරුණියන්ට හොඳින් සේවය ලබාදෙන අතර ඔවුන්ගේ උත්සාහයට සහයෝගය දක්වන බවත් පිළිගත යුතු බවත් තවද රාජ්‍ය නොවන ලාභ නොලබන ආයතනවලට අධ්‍යාපනය ලබා දීමේ සේවය සැපයීමට අපි සදාචාරාත්මක තීරණයක් ගත යුතුයි යන්න යි. තවද ලෝකයේ යථාර්ථයක් සම්බන්ධයෙන් අපි නවීන දෘෂ්ටිකෝණයක් අනුගමනය කළ යුතු යි යන්න මන්ත‍්‍රීතුමා විසින් පවැසීය.

මෙහි දී රවුෆ් හකීම් මන්ත‍්‍රීතුමා ද අදහස් ප‍්‍රකාශ කරමින් ආරම්භයේ පටන් SLIIT ආයතනය කළ ප‍්‍රකාශයන් ද අවධාරණය කරමින් SLIIT ආයතනය ලාභ නොලබන ආයතනයක් බවත් ලොව පුරා පිළිගත් විශ්වවිද්‍යාල උදාහරණ වශයෙන් Lvy League විශ්වවිද්‍යාල, Harvard,Stan ford යන විශ්වවිද්‍යාල සියල්ලම භාරයක් හරහා පිහිටුවා ඇති බවත් ලාභ නොලබන ආයතනයක් ලෙසින් පැවැත්වීමෙන් ආයතන පවත්වා ගැනීමේ හොඳ ක‍්‍රමවේදයක් ලෙසටත් SLIIT ආයතනයෙන් පමණක් උපාධීධාරීන් 3000ක් පමණ තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් අවශ්‍යතාවෙන් හරි අඩක් පමණ බිහි කරන මෙම ආයතනය ඉතා වැදගත් බවත් SLIIT ආයතනයේ ඉදිරි පරිපාලන කටයුතු සහ කාර්යභාරය පිළිබඳව ඉතා වගකීමෙන් බැලිය යුතු බවත් පැවසී ය.

මෙතෙක් සියලූ කරුණු පිළිබඳව සලකා බැලිමේ දී SLIIT ආයතනය රජයට හෝ කිසිදු රාජ්‍ය සංවිධානයකට සම්බන්ධ නොවූ නිදහස් හා ස්වාධීන ශ‍්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් ජයග‍්‍රාහී ගමනක යෙදෙමින් සිටී.

ශාන්ති ඉන්ද්‍රානි

advertistmentadvertistment
advertistmentadvertistment