V වැනි අග්‍රබෝධිගේ ජීවිතය බේරාදෙමු

763

මීට මාස තුන හතරකට පෙර මේ රටේ පත්තරවලත් TV වලත් සමාජ මාධ්‍ය තුළත් ගුවන් විදුලිය තුළිනුත් අග්බෝ නමැති වල් අලියකුට මහත් ප්‍රචාරයක් ලැබිණ. තිරප්පනේ පැත්තේ ගැමියන්ගේ හේන් විනාශ කරමින් සැරිසැරූ මේ වල් අලියාට එක් දිනකදී දඩයක්කාරයකු විසින් වෙඩි තබන ලදි. වෙඩිල්ල වැදුනේ අසරණ සතාගේ කකුලටය. අග්බෝ මොන වරදක් කළත් ඌට වෙඩි තැබීමේ අයිතියක් මිනිසුන්ට නැත. අග්බෝ යනු තනිකරම වල් අලියෙකි. බඩගින්න දැණුනු විට කවර සතකු වුවද (මනුසතා ද ඇතුළුව) ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගනී. ඒ නිසා අග්බෝගේ කකුලට වෙඩි තැබූ අශීලාචාර කුණු දඩයක්කාරයාගේ කකුලට ද ඒ ආකාරයෙන්ම වෙඩි තැබිය යුතු බව අපගේ යෝජනාව වන නමුදු චර්යාත්මක හේතූන් මත එය ඉල්ලා අස්කරගනු ලැබේ. වෙඩි කෑ අග්බෝ මුලදී කොර ගසමින් ගමන් කර ඉන්පසුව කකුල් තුනෙන් ගාටන්නට පටන් ගත්තේය. මෙය ඉතා ශෝකජනක දර්ශනයකි. මෙයින් කම්පා වූ ජනමාධ්‍ය අග්බෝ පිළිබඳ සියලු විස්තර ප්‍රචාරය කරන ලදි. ඉන්පසු වනජීවී දෙපාර්තමේන්තුව ද සත්ත්වවේදීන්ගේ සංගම් ද ත්‍යාගශීලී ගැමියන් ද එකතුවී විශාල වෙහෙස මහන්සියකින් පසු අග්බෝ කිසියම් තැනකට කොටුකරගෙන ඌට බෙහෙත් කර වෙඩි වැදුණු පාදය 90% ක් පමණ සුවපත් කර ගත්හ. අග්බෝට බෙහෙත් කරන අයුරු දෛනිකව TV එකේ පෙන්වන ලදි. එය ක්‍රිකට් මැච් එක පෙන්වනවා වැනි ක්‍රියාවලියක් වුවද දැන්වීම් නොලැබුණු බැවින් ක්‍රිකට් මැච් එකක තත්ත්වයට දැමිය නොහැක. තුවාල ලැබීමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වූ මාස හතරක පමණ කාලය තුළ අග්බෝට අවශ්‍ය කෑම බීම සියල්ලම ළඟටම ගෙන්වා දෙන ලදි. අලියකුට තුවාලයක් වූ විට එම තුවාලය සුවපත් කිරීම සඳහා ඇන්ටිබයොටික් ලොරි භාගයක් පමණ අවශ්‍යය. ඇන්ටිබයොටික් දිගින් දිගටම සිරුර තුළට යනවිට එම ප්‍රතිකාරයට භාජනය වන්නාට කණ පැලෙන්නට බඩගිනි එයි. මෙය මනුෂ්‍යයාටත් තිරිසනාටත් යන දෙදෙනාටම පොදු ලක්ෂණයකි. වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු යහපත් පිරිස මගින් අග්බෝ සුවපත් කෙරුණු පසු ඌ අත්හැර දැමූ එම පිරිස නැවතත් ස්වකීය වැඩ රාජකාරීවලට ගියහ. මේ නිසා අග්බෝට වෙනදා දෙපා මුලට ලැබුණු ආහාර තොගය අහිමි විය. මෙතැන් සිට නැවතත් පටන්ගන්නේ දරුණු යුගයකි. බඩගින්නේ මියයෑමේ අදහසක් අලියා තුළ නැති බැවින් ඌ නැවතත් කෑම සොයා ගම් වදින්නට පටන්ගනී.

රෝගීව සිටි කාලයේදී සතුන්ට ආදරය කරන මේ රටේ ජනයා අග්බෝගේ කට ළඟටම කෑම ගෙනගොස් දුන්හ. අග්බෝ සමග සෙල්ෆි ගත්හ. උගේ බඩ යටින් රිංගූහ. (මෙය ඉතා වාසනාවන්ත ක්‍රියාවක් සේ සලකනු ලැබේ. හැබැයි එසේ බඩ යටින් රිංගන අතර අලියා බිම ඉඳගත්තොත් එතැන් සිට මිනිසාගේ අවාසනාව පටන් ගනී.) අග්බෝ තිරප්පනේ ප්‍රදේශයේ ගම්වලට වැදී හේන් විනාශ කරන නිසා නැවත වතාවක් කිසියම් දඩයක්කරුවකු ඌට වෙඩි තැබීමට ඉඩ ඇත. මේ සියලු කරුණු සලකා ඒ සතා අත්අඩංගුවට ගෙන සුදුසු වනයකට මුදාහැරීම වනජීවී දෙපාර්තමේන්තුවේ වගකීම වේ.

හස්තියා යනු පොළොව මතුපිට සිටින විශාලතම සතාය. දිය යට සිටින විශාලතම සතා තල්මසා වේ. අලියකු මියයන ප්‍රධාන ක්‍රම හතරක් තිබේ. ඉන් පළමුවැන්න වෙඩි තැබීම හෝ විදුලි වයර් පෑගීමත්, හක්ක පටස් කෑම හෝ වස දීමට ලක්වීම යන කාරණාත්ය. දෙවනුව මේ රටේ අලින් මියයන්නේ දුම්රියෙහි ගැටීම වැනි හදිසි අනතුරුවලිනි. තෙවනුව විවිධ අසනීප නිසා ද අලි මියෙති. අලියා මියයන සිව්වන අවස්ථාව මෙසේය; වියපත්වන අලියාගේ කටේ තිබෙන දත් ගෙවෙන්නට පටන්ගනී. එයට හේතුව ඒ සතා ෆ්ලෝරයිඩ් අඩංගු ටූත්පේස්ට් පාවිච්චි නොකිරීමත් අධි කැල්සියම් මාත්‍රා සහිත කිරි නොබීමත් නිසා බව විද්වතකු කියන්නට ඉඩ තිබේ. මේ දෙකම කැලයේ නැත. දත් ගෙවුණු විට අලියාට ආහාර හප කිරීමට බැරි වෙයි. මේ නිසා ඌ කුසගින්නේම මියයයි. දත් ගෙවී ගිය කුසගිනිකාර අලින් අඳුනාගෙන උන් අල්ලා කැලේ තැනක එක්තැන් කොට තබා දියර ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් සමහර රටවල තිබේ. ඒවා බොහොමයක් කරන්නේ ආණ්ඩුවලින් නොව ස්වේච්ඡා සංවිධානවලිනි. එවැනි වැඩපිළිවෙළක් තාමත් මේ රටේ නැත. දැනට ඇත්තේ අලින් මරා දළ කපාගෙන යෑමේ ව්‍යාපෘතිය පමණි.

මෙයට අවුරුදු 200 ට පෙර මේ රටේ සිටි වල් අලි ගහනය 20,000 කි. කඳුකරයේ කෝපි සහ තේ වැවූ විදේශිකයන්ට වල් අලින්ගෙන් මහත් කරදරයක් ඇති විය. මේ නිසා කාණු හතේ තුවක්කුවක් හිමි සැමුවෙල් බේකර් නමැති දඩයක්කාර තිරිසන් සුද්දා කැඳවූ ලංකාවේ බි්‍රතාන්‍ය ආණ්ඩුව වල් අලින් මැරීමේ කොන්ත්‍රාත්තුව ඒකාට භාර කළේය. බේකර් විසින් අඩුම ගණනේ වල් අලින් 7000 ක් මරා දමන ලදී. එයින් බොහෝ කලකට පසු නූතන ලංකාවේ වල් අලි ගහනය 7000 තෙක් පහත බැස ඇත. ලංකාවේ වන ගහනවල ප්‍රමාණය අනුව මේ අලි ගහනය රටට දැරිය නොහැකි බව කෙනකුගේ මතයවී තිබේ. සංවර්ධන ව්‍යාපෘතීන් සහ ගොවිතැන් පුළුල් වීම නිසා ලංකාවේ වනාන්තරය විශාල වශයෙන් හෙළි පෙහෙළි කිරීමට පටන්ගත් අතර ඒ නිසා අලි ඇතුන්ට හා සෙසු වන සතුන්ට ස්වකීය වාස භූමි අහිමි විය. උදාහරණයක් වශයෙන් 1960 දී මේ රටේ වගා කටයුතු වෙනුවෙන් හෙක්ටයාර මිලියන 8.25 ක් වූ වනාන්තරය හෙළි පෙහෙළි කරන ලදී. 2020 වනවිට මේ ගණන හෙක්ටයාර් මිලියන 17.8 ක් දක්වා පුළුල් වී ඇත. මත්තල ගුවන් තොටුපළ සඳහා කැලෑඉඩම් හෙක්ටයාර් 2000 ක් එළිකර ඇත. මේ නිසා මේ ප්‍රදේශවල ජීවත්වූ අලි ඇතුන් ඇතුළු සෙසු වන සතුන්ට සිදුවී ඇත්තේ පිටකොටුවේ බෝ ගහ යටට විත් හිඟා කෑමටය. අග්බෝ යනු අග්‍ර බෝධි නමැති නාමයෙන් බිඳී ආවකි. ක්‍රිස්තු වර්ෂ 575 සිට ක්‍රිස්තු වර්ෂ 683 දක්වා විටින් විට අග්‍ර බෝධි රජවරු සිව්දෙනෙක් ලංකාව පාලනය කළහ. මේ නිසා දැනට සිටින අග්බෝ පස්වන අග්‍ර බෝධි ලෙස නම් කළ හැකිය. මේකාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම රාජ්‍යය සහ ජනතාව යන දෙකොටසටම අයත් කාරියකි. අග්බෝ ට යළි වෙඩි තැබීමට ඉඩ නොදෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment