Wanted මචංලා – නාට්‍යකරුවන් පස්දෙනෙකුගෙන් පස්විදිහේ වැඩ පහක්

192


“ WANTED – මචංලා” නම කියූ සැණින් ම මචංලා සෙට් එකක වැඩක් කියලා සිහියට නැගෙනවා නොඅනුමානය. මේක මචංලා පස් දෙනෙක් එකතු වෙලා කරන පස් විදියේ නිර්මාණාත්මක වේදිකා නාට්‍ය පහක වැඩක්. මේ මචංලා පස්දෙනා වෙන කවුරුවත් නෙවෙයි ඔබ අප කවුරුත් හොඳින්ම හඳුනන වේදිකා නාට්‍ය කලාවේ දිනෙන් දින පෙරළිකාර අත්දැකීම් ප්‍රේක්ෂකයාට ලබා දෙන දක්ෂ, තරුණ අධ්‍යක්ෂවරු වන සචිත්‍ර රාහුබද්ධ, අඛිල සපුමල්, අසංක සායක්කාර, චාලක රණසූරිය සහ චමිල ප්‍රියංකයි. ජූලි මාසේ 8 වැනිදා සවස 4.00 ට සහ 7.00 ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් රඟහලේ දී පවත්වන්නට නියමිත wanted-මචංලාගේ වෙනස්ම අත්දැකීමක් ගෙන එන මේ කෙටි නාට්‍ය සැණකෙළිය පිළිබඳව ඔවුන්ගෙන්ම අසා දැන ගන්නට අපි ඔවුන්ට කතා කළා.

● හෙලෝ මොබයිල් එක කරපු බලපෑම්

“wanted-මචංලා” ඇතුලේ “හෙලෝ” කියලා වැඩක් තියෙනවා. මේ “හෙලෝ” කියන වැඩේ ඔයාලට තිළිණ කරන්නේ චාලක රණසූරිය කියන නාට්‍ය නිර්මාණකරුවයි. චාලක අපට දැක්වූ අදහසයි මේ.

මේ කෙටි නාට්‍ය උළෙල ගැන මුලින්ම කතා කළොත් අපි සමකාලීන නාට්‍යකරුවන් පස් දෙනෙක් තමයි එකතුවෙලා ඉන්නෙ. මම, සචිත්‍ර, අඛිල, අසංක සහ චමිල. අපි හැමෝම එකම කාලයේ වේදිකාවත් එක්ක ගනුදෙනු කරපු පිරිසක් තමයි මේ එකතුවෙලා ඉන්නේ. ඉතින් මගේ නාට්‍ය ගැන කතා කළොත් “හෙලෝ” කියන්නේ මම මීට අවුරුදු දොළහකට කලින් වගේ කරපු බොහෝ සම්මාන දිනාගත් කෙටි නාට්‍යයක්. මේ සැරේ මේ wanted-මචංලා කෙටි නාට්‍ය උළෙලට “හෙලෝ” නාට්‍යයත් එකතු වෙනවා. මේ නාට්‍යය තුළින් කතා කරන්නේ අපිට සමීප ජංගම දුරකථනය ඒ දවස්වල දැන් තරම් ජනප්‍රිය නොවුණත් ජංගම දුරකථනය මිනිසුන්ගේ ජීවිත වලට කොයිතරම් බලපෑමක් එල්ල කරාද කියලයි.

● ලයිට් කිපිලා ගමකට ලයිට් ලබාදෙන ව්‍යාපෘතියක්

“ලයිට් කිපිලා” නාට්‍ය පිළිබඳව අපට කියන්නේ, එහි අධ්‍යක්ෂක අඛිල සපුමල්.

මගේ “ලයිට් කිපිලා” නාට්‍යයෙන් කතා කරන්නේ, සංවර්ධනය ගැන. මේ සංවර්ධනය ගැන කතා කරද්දි අද අපේ රට ලොකු ආර්ථික අර්බුදයකට පත් වෙලානේ තියෙන්නේ. ඒ ආර්ථික අර්බුදයට හේතු කාරණාවන් එකක් නෙවෙයි දහසක් පමණ තියෙනවා. අන්න ඒ අදහසම මේ කෙටි නාට්‍යයක් ඇතුළතින් හාස්‍ය රසය වැඩිපුර මතුකරමින් කතා කරන පොඩි පර්යේෂණාත්මක නාට්‍යයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ගමකට ලයිට් ලබාදීම සඳහා ව්‍යාපෘතියක් වශයෙන් තමයි මේ නාට්‍යය ගලාගෙන යන්නේ.

● චේ සහ ජුලියට් සාම්ප්‍රදායික ආකෘතියක් නෙමෙයි.

මේ මචංලගේ වැඩේ ඇතුලේ “චේ සහ ජුලියට්ට් නාට්‍යයත් පෙන්වනවා. මේ නාට්‍ය නිර්මාණය කරලා තියෙන්නේ චමිල ප්‍රියංක, චමිල මේ නාට්‍ය ගැන අපට පැවසුවේ මෙසේය.

“චේ සහ ජුලියට්” කියන්නේ මීට අවුරුදු පහළොවකට විතර ඉස්සර නිර්මාණය වුණ නාට්‍යයක්. මේ නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙලවල් වලදී බොහෝ සම්මානයන්ගෙනුත් පිදුම් ලැබුවා. මෙහි ප්‍රධාන තේමාව වශයෙන් ගත්තම කතා කරන්නේ, විශ්වවිද්‍යාල ජීවිතය සහ ඒකත් එක්ක ලංකාවේ තරුණයාගේ සහ තරුණියගේ ජීවිතය කොහොමද හැඩ ගැහිලා තියෙන්නේ සහ විශ්වවිද්‍යාලය සහ පාරිභෝජනවාදය, වෙළෙඳපොළ කොහොමද සමාජය ඇතුළේ තරුණ තරුණයින්ගේ ජීවිතය හසුරුවන්නේ කියන කාරණාව පිළිබඳව “ චේ සහ ජුලියට්” නාට්‍ය දේශපාලනය සහ පරිභෝජනය කොහොමද, ලංකාවේ සමාජය ඇතුලේ, සූක්ෂම දේශපාලනය ඇතුලේ බලය කොහොමද බෙදිලා ගිහිල්ලා තියෙන්නෙ කියලා සහ අද වෙනකොට ලංකාව පත් වෙලා තියෙන අතිශය පරිභෝජනවාදී ජීවන රටාව කොහොමද තරුණ ජීවිතවල සම්බන්ධයට බලපාන්නේ කියන කාරණාව මේ නාට්‍යය තුළින් සාකච්ඡාවට නංවනවා. මෙය සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ආකෘතියෙන් නෙමෙයි හදලා තියෙන්නේ. කෙටි නාට්‍යයක් වුවත් යම් විදියක වියුක්ත භාවිතයක් තමයි මෙහි පෙන්නුම් කරන්නේ.

● “නයන ලලන” ‍ෙදාස්තර සහ රෝගියා අතර වෙන සංවාදයක්

අසංක සායක්කාර නිර්මාණකරුවාගේ නාට්‍ය තමයි “නයන ලලන” කියන්නේ. මොකක්ද මේ “නයන ලලන” කියන එක පිළිබඳව අසංක කියූ කතාව.

“නයන ලලන” නාට්‍ය තුළ තියෙන්නේ ඇත්තටම පොඩි සංකීර්ණ මනෝවිශ්ලේෂණවාදී කතාන්දරයක් පිළිබඳවයි. මේ කතාව දොස්තර කෙනෙක් සහ රෝගියෙක් අතර වෙන සංවාදයක්. ඒක පොඩි abstrac විදිහටයි ගලාගෙන යන්නේ. හැම පිරිමි ඇහැක් ඇතුළතම දකින කාන්තා දර්ශනයක් තියෙනවා කියලා මනෝවිශ්ලේෂණවාදී විදිහට කෙරෙන පොඩි විග්‍රහයක් ලෙසිනුත් අපට “නයන ලලන” නාට්‍ය පෙන්වා දෙන්න පුළුවන්. මේ කතාව ඇතුළෙ මතුපිටින් බැලුවහම පෙනෙන කතාන්දරයට වඩා පොඩි වෙනස් විදියක විශ්ලේෂණයකුත් දකින්නට පුළුවන්.

● “උත්පලවර්ණා” ස්ත්‍රිය ගැන කතා කරනවා

සචිත්‍ර රාහුබද්ධ නිර්මාණකරුවත් මේ මචංලා පස්දෙනා එක්ක එකතුවෙලා “උත්පලවර්ණා” තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ “උත්පලවර්ණා” ගැන සචිත්‍ර අපත් එක්ක දැක්වූ අදහසයි මේ.

“උත්පලවර්ණා” 2022 රාජ්‍ය නාට්‍ය උළලේ අවසන් වටයට ඉදිරිපත් වන කෙටි නාට්‍යයක්. මෙය දැනට හිතට වැටුන මිසයිල කියන කෙටි නාට්‍ය උළෙලත් එක්ක යන නාට්‍යයක්. මේක wanted-මචංලා අපි නාට්‍යකරුවෝ පස් දෙනෙක් එකතු වෙලා හදන මේ නාට්‍ය උළෙලේ තමයි වේදිකාගත වෙන්නේ. මේ නාට්‍යයේ අන්තර්ගතය ගැන කතා කළොත්, මෙය ස්ත්‍රිය ගැන කතා කරන නාට්‍යයක්.

ඉතින් මම අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා ඔයාලගේ ජීවිතේට වෙනස්ම වේදිකා නාට්‍ය අත්දැකීමක් ලබා ගන්න “wanted – මචංලා”කෙටි නාට්‍ය උළෙල බලන්න පැමිණෙන්න කියලා.

● පාරමී කෞෂිකා

Wanted මචංලා - නාට්‍යකරුවන් පස්දෙනෙකුගෙන් පස්විදිහේ වැඩ පහක්

advertistmentadvertistment
advertistmentadvertistment