ශ්‍රී ලංකා සිනමාවට අපූර්ව අත්දැකීමක්

සිංහල සිනමාවට නැවුම් අත්දැකීමක් එකතු කරමින් ඊඒපී මාධ්‍ය ජාලය සංවිධානය කරනු ලබන ‘සැවෝයි සිනමා වසන්තය අභිනව මහා තිර මංගල්‍යය’ මෙම මස 14 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව මෙම සිනමා වසන්තයට චිත්‍රපට හතරක් ඇතුළත් වන අතර පිළිවෙළින් එය මෙසේය. දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කරන ලද කපුටා වීවී ආයතනය නිෂ්පාදනය කළ ‘නාට්ටාමි ආමි’, ක්‍රිස් ඇන්තනී අධ්‍යක්ෂණය කරන ලද ‘අපේ ප්‍රින්සිපල්’, ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ ‘මේක පුදුම කතාවක්’ සහ ප්‍රසාද් සමරතුංග අධ්‍යක්ෂණය කළ ‘තාත්තා’ වේ.

මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ට තමන් කැමැති චිත්‍රපටයක් තමන් කැමැති වෙලාවට නැරඹීමේ අවස්ථාව ද මින් උදාකර ඇත. තවද මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ 14 වැනිදා සිට 17 වැනිදා දක්වා රාත්‍රී 7.00 ට වැල්ලවත්ත සැවෝයි ප්‍රීමියර් හි පැවැත්වෙන සෑම මංගල දර්ශනයකදීම ඊට අදාළ චිත්‍රපටවල නළු නිළියන් සමගද සිනමා ප්‍රේක්ෂකයන්ටද මෙම සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව උදාකර දී තිබීමය. ඒ අනුව 14 වැනිදා දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ ‘නාට්ටාමි ආමි’ද, 15 වැනිදා ක්‍රිස් ඇන්තනී අධ්‍යක්ෂණය කළ අපේ ප්‍රින්සිපල් ද, 16 වැනිදා ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ ‘මේක පුදුම කතාවක්’ද, 17 වැනිදා ප්‍රසාද් සමරතුංග අධ්‍යක්ෂණය කළ ‘තාත්තා’ චිත්‍රපටයේ ද මංගල දර්ශන පැවැත්වීමට නියමිතය.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා වැල්ලවත්ත සැවෝයි සිනමා හලේදී පැවැත්විණි. මෙම අවස්ථාවට මෙම සිනමා නිර්මාණවලට අදාළ අධ්‍යක්ෂවරු මෙන්ම ඊඒපී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී කමින්ද සමරකෝන් ද සහභාගි විය. මෙහිදී ඔව්හු මෙසේ පැවැසූහ.

කාටවත් අසාධාරණයක් නෑ

ඊඒපී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී කමින්ද සමරකෝන්,

පිටරටවල මේ වගේ කන්සෙප්ට් තිබෙනවා. ඉතිං මම හිතුවා ලංකාවෙත් මේ වගේ දෙයක් කරමුද? කියලා. මේක අලුත් සංකල්පයක්. මේ ලැබුණ අවස්ථාවෙන් මෙවැනි උළෙලක් පවත්වල නවක නිෂ්පාදකවරුන්ට ස්ථානයක් ලබාදීලා ඔවුන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න අවස්ථාව ලබාදීලා තිබෙනවා. ඊඒපී සිනමා මණ්ඩලයට සිනමා ශාලා 40 ක් විතර තිබෙනවා. මේ වැඩේට කවුරු අකමැති වුණත් ඊඒපී මාධ්‍ය ජාලය හරහා හරි මම මේ ක්‍රමය ක්‍රියාත්මක කරනවා. හැම කෙනෙකුටම අසාධාරණයක් නොවන්න අපි සතියකට වැඩපිළිවෙළක් හදනවා. එතකොට හැම කෙනෙකුටම රාත්‍රී 7.00 දර්ශන පහක් ලැබෙනවා නම් ඒ පහම ලැබෙනවා. අපි මේ කන්සෙප්ට් එක ඩිජිටල් මීඩියා හරහා තමයි එළිදක්වන්න හදන්නේ. සතියකට අදාළ ෂෙඩූල් එක පෙන්වනවා. එතකොට කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ.

මේක හොඳ ක්‍රමයක්

‘මේක පුදුම කතාවක්’ චිත්‍රපටයේ නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු මහතා,

ලංකාවේ ඕනෑම සිනමා ශාලාවකින් මේ චිත්‍රපටය ඉල්ලන්න පුළුවන්. චිත්‍රපට හතරම වුණත් ඉල්ලන්න පුළුවන්. ඕනෑම මණ්ඩලයකට එක චිත්‍රපටයක් වුණත් අරගෙන පෙන්වන්න පුළුවන්. මේක හොඳ ක්‍රමයක්. දුවන චිත්‍රපට හොඳටම දුවයි. දුවන්නේ නැති එක ඉක්මනටම ගැලවෙයි. මට මණ්ඩලයක් තිබිලත් මම මේ මණ්ඩලයට ආවේ විශාල ආදායමක් ලබයි කියන විශ්වාසය ඇතිවයි. පළමු දවසේ මට තියෙන්නේ 4.30 දර්ශනය. මම ඒක හවුස්ෆුල් කරනවා කියන අධිෂ්ඨානයේ ඉන්නවා.

පෝලිම් ක්‍රමයට හොඳ විසඳුමක්

‘නාට්ටාමි ආමි’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ දේවින්ද කෝන්ගහගේ මහතා,

ලෝකයේ අයි මැක්ස් සිනමා සිස්ටම් එකේ සිනමා බොකේ කියලා සිස්ටම් එකක් තියෙනවා. ලංකාව ඒක දැකලා නැහැ. මම මේක හඳුන්වන්නේ උඳුවප් සිනමා කළඹ කියලා. ඉතිං මේ වගේ සිනමා කළඹක් ලංකාවට අවශ්‍යයි. නැතිනම් මේ පෝලිම ඉවර කරන්න විදිහක් නැහැ. අනික මේ ක්‍රමය පෝලිම් ක්‍රමයට හොඳ විසඳුමක්.

හොඳ නැතිනම් මගේ චිත්‍රපටය වුණත් ගැලවෙයි

‘මේක පුදුම කතාවක්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලාල් ප්‍රියදේව මහතා,

අපි කරපු චිත්‍රපට පෙන්වන්න පුළුවන් වෙන්නේ සෑහෙන පරණ කරලා. එතකොට අලුත් නිර්මාණකරුවෙක් බිහිවෙන්නේ කොහොමද?. හරි නම් මේ වගේ ක්‍රමවේදයක් ඇති කරන්න ඕනෑ රජයෙන්. එහෙමත් නැතිනම් චිත්‍රපට සංස්ථාවෙන්. මම මේ දොස් කියනවා නම් නෙමෙයි. මේ වගේ ක්‍රමවේදයක් අරගෙන ආපු එක ගැන ඊඒපී මාධ්‍ය ජාලයට අපි ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මොකද පෝලිම් ටික ඉක්මනට ඉවරවෙනවා. නවකයන්ට ඉඩදෙන්න හොඳ අවස්ථාවක්. මේ ක්‍රමවේදයේදී මගේ චිත්‍රපටය හොඳ නැතිනම් මගේ චිත්‍රපටය වුණත් ගැලවෙයි. ඒකට කරන්න දෙයක් නැහැ.

සැවෝයි වසන්තයට චිත්‍රපටි 4ක් එකම දවසේ සිනමාහල් 40ක

සමහරු අකැමැති ඇයිද දන්නේ නෑ…

‘තාත්තා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රසාද් සමරතුංග,

මේක අලුත් ක්‍රමවේදයක්. අපි මේ ක්‍රමවේදය ඇතුළේ 14 වැනිදා ඉඳලා සමාජ මාධ්‍ය හරහා හෙට දවසේ තිබෙන චිත්‍රපටය මොකක්ද කියලා කියනවා. මේ ක්‍රමය දිගටම ඇති කළොත් පෝලිම්වලට හොඳ විසඳුමක්. මට දැනගන්න ලැබුණා ක්ෂේත්‍රයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරු මේ ක්‍රමයට අකැමැතිවෙලා තියෙනවා කියලා. ඒකට හේතුව මම දන්නේ නැහැ. නමුත් මේක පෝලිම්වලට හොඳ විසඳුමක්.

අලුත් වැඩකට උදව් කරන අය අඩුයි

‘අපේ ප්‍රින්සිපල්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ක්‍රිස් ඇන්තනී මහතා,

මම මුලදීම කිව්වා මේක පටන්ගන්නකොට අපිට ප්‍රශ්න ඇතිවේවි කියලා. ලංකාවේ අලුත් වැඩක් කරන්න යනකොට ඒකට උදව් කරන අය හරි අඩුයි. ඉන්දියාවේ සිනමාව ගොඩක් උඩ තියෙන්නේ ඔවුන් සිනමාවට ආදරේ හින්දයි. අලුත් වැඩක් කරන්න හදනකොට සමහරු කකුලෙන් අදින්න උත්සාහ කරනවා. ලෝකේ පෙරළුණත් අපි මේ ගමන යනවා කියන තැන ඉන්නේ. තමන්ට කැමැති චිත්‍රපටයක් මේ ක්‍රමයෙන් නරඹන්න පුළුවන්.

දිනේෂ් විතාන

සැවෝයි වසන්තයට චිත්‍රපටි 4ක් එකම දවසේ සිනමාහල් 40ක
advertistmentadvertistment
advertistmentadvertistment