රාජ්‍ය වෙසක් උත්සවය කූරගල පුදබිමේදී

473

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (12) පැවැති සාකච්ඡාවේදී තීරණය කර ඇත.

අරලියගහ මන්දිරයේදී පැවැති මෙම සාකච්ඡුාවේදී රාජ්‍ය වෙසක් උත්සවයට පෙර නාගදීප රජ මහා විහාරය පූජා භූමියක් ලෙස නම් කර සන්නස් පත‍්‍රය පිළිගැන්වීමට අවශ්‍ය කටයුතු නොපමාව සූදානම් කරන ලෙසද අගමැතිවරයා පවසා තිබුණි.

කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගෙන මෙවර පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කූරගල ඓතිහාසික පුදබිම ද පූජා භූමියක් ලෙස නම් කිරීමට අවධානය යොමු කරන්නැයි ද අගමැතිවරයා දන්වා ඇත.

රාජ්‍ය වෙසක් උත්සවය  කූරගල පුදබිමේදී

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වෙසක් බැති ගී සංදර්ශන, දන්සල්, වෙසක් පහන් කූඩු තරග, පරිසර සංරක්‍ෂණ වැඩසටහන්, විශේෂ ආගමික වැඩසටහන්, සංස්කෘතික වැඩසටහන් පැවැත්වීම කෙරෙහි මෙන්ම විහාරස්ථාන, දහම් පාසල් සහ පිරිවෙන් නඟා සිටුවීම පිළිබඳව සාකච්ඡුා කර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කොළඹ ඇතුළු ප‍්‍රධාන නගරවල වෙසක් උත්සව සංවිධානය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අගමැතිවරයා දන්වා ඇත.

කූරගල පුදබිම පිහිටි බලංගොඩ සහ කල්තොට ප‍්‍රදේශ ආශ‍්‍රිතව යටිතල පහසුකම් දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමග සාකච්ඡුා කර කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

වෙසක් උත්සවය සෞඛ්‍ය අංශයේ උපදෙස් මත පැවැත්වීම සඳහා අවශ්‍ය සියලූ කටයුතු රජයක් ලෙස සූදානම් කරන බවත් පරිසර සංරක්‍ෂණ වැඩ පිළිවෙළේදී විශේෂයෙන් පැළ බෙදාදීම පමණක් නොව එම පැළ සිටුවා නිවැරදිව සංරක්‍ෂණය කරනවාද කියලත් සොයා බලන්න යැයි අගමැතිවරයා පවසා ඇත.

රාජ්‍ය වෙසක් උත්සවය -2022 බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට අදාළව ඊට සමගාමීව ක‍්‍රියාත්මක වන වැඩසටහන් සම්බන්ධයෙන් ප‍්‍රවාහන ඇමැතිනි පවිත‍්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය මෙහිදී පැහැදිලි කර ඇති අතර මෙම සාකච්ඡුාවට සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති පූජ්‍ය මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප‍්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමි, රත්නපුර දිස්ත‍්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය කහවත්තේ සේනින්ද හිමි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ සම්බන්ධීකාරක පූජ්‍ය අග‍්‍රහැරේ කස්සප ස්වාමීන් වහන්සේ ප‍්‍රධාන මහා සංඝරත්නය, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අකිල එල්ලාවල, ගාමිණි වලේබොඩ, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අමාත්‍යාංශ ලේකම්වරුන් වන අනූෂ පැල්පිට, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන නීතිඥ චමින්ද කුලරත්න මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment