අත්‍යවශ්‍ය බෙහෙත් සහ ශල්‍ය ද්‍රව්‍ය 200 ක් රෝහල්වල හිගයි – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්

95

මෙම දිනවල රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය 200ක පමණ තොග අඩුවීමක් හා හිඟයක් පවතින බව තම සංගමය විසින් අනාවරණය කරගත් බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.

මෙම බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග අතුරින් වැඩි සංඛ්‍යාවක ඇත්තේ තොගවල අඩු වීමක් බවත් ඇතැම් බෙහෙත් හිඟව පවතින බවත් ඔහු කීවේය. හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය (බ්ලඞ් ප්‍රෙෂර්), කොලෙස්ටරෝල් සඳහා ලබා දෙන බෙහෙත් වර්ග, පිළිකා, වකුගඩු රෝග සඳහා ලබා දෙන බෙහෙත් වර්ග, යුරිනරි කැතීටර්ස්, සැත්කම්වලට භාවිත කරන නූල් වර්ග, නිර්වින්දන බෙහෙත් වර්ග මෙසේ හිඟව පවතින බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය අතර වේ. රෝහල්වලට අත්‍යවශ්‍ය මෙම බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීමට පියවර නොගතහොත් එමගින් ඉදිරියේදී රෝගී ජීවිත අනතුරට පත් විය හැකි බව වෛද්‍ය බණ්ඩාර මහතා අවධාරණය කළේය.

සෞඛ්‍ය බලධාරීන් විසින් මෙම අත්‍යවශ්‍ය බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍යවල තොග රෝහල්වල අඩු වීම හා හිඟ වීම සම්බන්ධයෙන් වහාම අදාළ සියලූ පාර්ශ්වයන් සමග සාකච්ඡුා කර අඛණ්ඩව බෙහෙත් සැපයීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද, අඛණ්ඩ බෙහෙත් සැපයුමක් පවත්වා ගැනීමෙන් රෝගීන්ගේ ජීවිත අනවශ්‍ය ලෙස අනතුරට පත් වීම වළක්වාගත හැකි බවද ඒ මහතා පැවසීය.

මෑතකදී සිදු වූ බෙහෙත් මිල සංශෝධනය හරහා රෝගීන්ට දරාගත නොහැකි අයුරින් පෞද්ගලික ඔසුසල්වල බෙහෙත් හා වෛද්‍ය උපකරණවල මිල ගණන් ඉහළ ගොස් තිබෙන අතර මේ සම්බන්ධයෙන් සොයා බලා රෝගී ජනතාවට සහනයක් ලබා දීමට බලධාරීන් වහා ක‍්‍රියා කළ යුතු බව ද වෛද්‍ය බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment