අනන්‍යතාවන් ට ගරු කරන විශ්ව පවුලක්!

52

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් දාහත්වෙනි වතාවටත් අප්‍රිකාවේ සංචාරක යෙදෙමින් සිටිනවා. උපායමාර්ගික හවුල්කාරීත්වයක් උදෙසා තමයි ඔහු අප්‍රිකාවේ සංචාරයට යෙදෙන්නේ. ඔහුගේ ධුර කාලය තුළ වැඩිම වාර ගණනක් ඔහු සංචාරය කොට ඇත්තේ අප්‍රිකානු කලාපයට. අප්‍රිකාවත් සමග මැක්‍රෝන් ගේ තිබෙන මේ අසාමාන්‍ය ගනුදෙනුවේ රහස මේ වන විටත් ඇතැමුන් ප්‍රශ්න කරන්නට පටන් අරගෙන තිබෙනවා.

නව යටත් විජිතකරණයේ ස්වරූපය තමයි ආයුධවලින් කරන යුද්ධය වෙනුවට ආර්ථිකය හා සංස්කෘතිය හරහා සිදු කරනු ලබන යටත් කරගැනීම.

බෙදා වෙන් කර පාලනය කිරීම’ බි්‍රතාන්‍ය සහ ඇමරිකන් අධිරාජ්‍යවාදීන් ඉතා සාර්ථක ලෙස අත්හදා බැලූ පාලන ක්‍රමයක්. යටත් රටවල ජනතාවන් විවිධ සීමාවන් මායිම් ඔස්සේ බෙදා විරසක කිරීමත්, එවිට පැන නගින ප්‍රතිවිරෝධතාවන් තම වාසියට හරවා ගෙන යටත්විජිත සහ නව යටත්විජිත පාලනය පහසුවෙන් කර ගෙන යෑමත් ඔවුන් සිදුකළා.

වර්තමානයේදීත් මේ තත්ත්වය වෙනස් සහ උපක්‍රමශීලී විදිහට සිදු කරමින් සිටිනවා.

බලවත් රටවල් විසින් තෝරාගත් රටවල් කිහිපයක් යොදාගෙන සෙසු රටවල් වලට විරුද්ධව තමන් තුළ තියෙන විරසකය ජය ගැනීමට කටයුතු කරමින් ඉන්නවා.

ඊශ්‍රායලය පලස්තීන නගරයක් විනාශ කරන්නට පසුගියදා සමත් වුණා. ඊශ්‍රායල් ආණ්ඩුව ප්‍රකාශ කළේ පලස්තීනය හුවාරා නම් වූ නගරය සිතියමින් ඉවත් කිරීමට තමන් කටයුතු කරන බව.

වර්ෂ 1948 දී ඊශ්‍රායලය බිහිවූ දා පටන්ම මේ කලාපය තිබෙන්නේ ගිනිමැලයක් අසල තිබෙන පැට්‍රෝල් ටැංකියක් වගේ. පලස්තීනුවන් හා ඊශ්‍රායල ජාතිකයන් අතර ඇති වන බහින් බස් වීමක් පවා ලෝක යුද්ධයක් දක්වා දිග්ගැස්සෙන්න පුළුවන් තරමට මේ කලාපය උණුසුම්. මේ සාහසික ප්‍රකාශය ලෝකයම කම්පනයට පත් කළා.

ඇමරිකානු ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා අදාළ ප්‍රකාශය හෙළා දැක්කත් ප්‍රායෝගික මැදිහත් වීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඇමරිකාවේ ජනාධිපතිවරයා යුක්රේනය වෙනුවෙන් 24ම කාලය වෙන් කළත් පලස්තීනය වෙනුවෙන් එතරම් උනන්දුවකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ.

බලගතු රටවල් ආක්‍රමණයේ දී තමන්ගේ රටවල හමුදා නිලධාරීන් අතින් සිදු වූ දරුණු ගණයේ මානව හිමිකම් කඩවීමේ චෝදනාවලින් ඔවුන් ගලවා ගැනීම සඳහා මේ වනවිට තමන්ගේ රටවල විශේෂ නීති රීති පවා සම්පාදනය කළා.

මේ දෙබිඩි පිළිවෙත් බලවත් රටවල් විසින් දිගින් දිගටම කුඩා රටවල් ඉලක්ක කර ගනිමින් සිදු කරමින් සිටිනවා.

ලෝකයේ කාට කොතනක පමණ විදිහේ අසාධාරණයක් සිදුවුණාත් ඒ අසාධාරණය අභියස නිහඬව සිටිනවා නම් ඒ අසාධාරණය වෙනත් වටයකින් යම් දිනෙක අපට පැමිණි විට අප වෙනුවෙන් කතා කරන්නට කිසිවකු ඉදිරිපත් වන එකක් නැහැ.

වර්තමානයේදී අවශ්‍ය වන්නේ සාමූහික විදෙස් පිළිවෙතක්. සියලු දෙනාටම ගරු කරන ඒ ඒ ජාතීන් ගේ අනන්‍යතාවන්වලට බොහොම දක්වන විදෙස් පිළිවෙතක්.

ලෝකය තනි යායක් වන්නේත්, ලෝකය විශ්ව පවුලක් වන්නේත් එකිනෙකාට ගරු කරන, එකිනෙකාගේ අනන්‍යතාවන් ට ඉඩ දෙන කප්පියක් නිර්මාණය වූ විට බවයි මගේ විශ්වාසය.

ඉමිතියාස් බාකීර් මාකර්

advertistmentadvertistment
advertistmentadvertistment