ධර්ම දේශනාවේ අන්තර්ගත කරුණු පෙර සිට මාධ්‍යයෙන්…

ධර්ම දේශනාව සිදු කරන්නෙ උඩදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ…

ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න දැන්ම ඉඳල පේ වෙන්න…

මාර්තු 28 සිට දින තුනක් රාත්‍රී 8 සිට පාන්දර 5 දක්වා ධර්ම දේශනාව පැවැත්වෙයි…

ධර්මානුකූලව ජීවිතයේ අඩුපාඩු සකස් කරගැනීමට අවැසි සදහම් කැඩපත විවර කිරීමට තවත් වැඩි දිනක් නැත. ‘ප්‍රත්‍යවේක්‍ෂා’ නමින් අනුරාධපුර රුවන්මැලි මහා සෑය ඉදිරිපිට දී සදහම් කැඩපත විවර කිරීමට සියලු කටයුතු සංවිධානය වෙමින් තිබෙන බව ද වාර්තා වේ. කම්මට්ඨාචාර්ය, විනයාචාර්ය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේ සිදු කිරීමට නියමිත එම ධර්ම දේශනාව හිතු මතේ සිදු කරන ධර්ම දේශනාවක් ද නොවේ. නායක භික්‍ෂූන්වහන්සේ මණ්ඩලයක් පෙර සිට සාකච්ඡා කර, පොදු විනිශ්චයක පිහිටමින් සිදු කරනු ලබන අති දුර්ලභ ධර්ම දේශනාවකි. මාර්තු මස 28 සිට 30 වැනිදා දක්වා දින තුනක් රාත්‍රී 8.00 සිට පාන්දර 5.00 දක්වා නොකඩවා සිදු කිරීමට කටයුතු සංවිධානය කෙරෙන මෙවැනි ධර්ම දේශනාව නුවර යුගයෙන් මෙපිටට සිදු වී නොමැති බව ද වාර්තා වේ. එම ධර්ම දේශනාව බෞද්ධ සමාජයට සුවිශේෂීය. එහෙයින් ‘සදහම් කැඩපත’ විවර කිරීමට සූදානම් වන උඩදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේ බැහැදැක එම ධර්ම දේශනාව සිදුකිරීමේ අරමුණ ගැන අපි විමසා සිටියෙමු.

“මෙරට ඉතිහාසයේ මෙවැනි ධර්ම දේශනා සුලබව පැවැත්වෙලා තියෙනවා. එකල ධර්ම දේශනා අනුසාරයෙන් මුළු ජන සමාජයම එක තැනකට එකතු කරගෙන තියෙනවා. ජන සමාජයට හොඳ දහම් පණිවිඩයක් ලබා දීලා තියෙනවා. ඒ තුළින් භික්‍ෂූන්වහන්සේ ගැන සමාජයේ අති ප්‍රසාදයක් නිර්මාණය වෙලා තියෙනවා. ගිහි පැවිදි සම්බන්ධය ශක්තිමත් වුණා. කාලයත් සමඟ පැමිණි විවිධ විදේශ ආක්‍රමණ, අවිවේකීකම, සංකීර්ණ බව, මිනිසුන්ගේ අරමුණු කෙලෙස් සහගතවීමත් සමඟ මෙවැනි ධර්ම දේශනා ක්‍රමයෙන් යටපත් වෙලා ගිහින් තියෙනවා. වර්තමානය වෙනකොට බොදු දහමට අභියෝග කරන පුද්ගලයන් විවිධ ස්වරූපයෙන් ඉස්මතු වෙමින් සිටිනවා. ‘කාටවත් නිවන් දකින්න බෑ’ කියන අය ඉන්නවා. සිදුහත් උපත, බුදුවීම, සුජාතාවගේ කිරිපිඬු දානය ආදී බුද්ධ චරිතය සම්බන්ධයෙන් විවිධ ගැටලු තියෙන අය ඉන්නවා. බුද්ධ උත්පාදක කාලයේ බුදු වෙන අය ඉන්නවා. විවිධ බෝධිසත්වවරු ඉන්නවා. බුද්ධ වචනයට අනුව මේවා ‘පර මත’ ඒවා ගැන කතා කිරීමෙන් ඇති ඵලක් නෑ. මේවා ගැන සොයන්න ඉස්සර වෙලා බුදු දහම තුළ අනිවාර්යෙන්ම සෙවිය යුතු දේවල් තියෙනවා. ඒවා සොයන්න හදිසි වෙන්න ඕනෑ. අපි ඉන්නෙ අපායේ වැටීමේ අවදානමේ. ඒ නිසා අපායේ නොවැටී සිටීමේ තැන ගැන පළමුව අවබෝධ කරගෙන සෙසු ප්‍රශ්නවලට විසඳුම් සෙවීම තමයි වඩාත්ම හොඳ…”

“අපේ මේ උත්සාහය අපායේ නොවැටී, නිවනට යන නිවැරැදි ධර්ම මාර්ගය පෙන්වාදීම. ථෙරවාදී බුදුදහම තුළ නිවනට යන මාර්ගය හොඳින් විවර වෙලා තියෙනවා. අදටත් එම මාර්ගය වැහිලා නෑ. බුද්ධ උත්පාදක කාලයක එම මාර්ගය වැහෙන්නෙත් නෑ. ඒත් අපේ මිනිස්සු යම් අරමුණක පිහිටගෙන නිවන කරා ගමන් කිරීමට කටයුතු කරන බවක් පේන්න නෑ. පින්කම් කරනවා. සිල් රකිනවා. භාවනා කරනවා. ඒත් නිවන අවබෝධ කරගැනීමට නිසි අරමුණක් නෑ. නිවන් දකින්න පුළුවන් කියන විශ්වාසය බොහෝ අය තුළ නෑ. අඩුම තරමින් සෝවාන් මාර්ගය හෝ අවබෝධ කරගැනීමට පුළුවන් කියන විශ්වාසය නෑ. අපි මේ ධර්ම දේශනාව තුළින් අවබෝධ කර දෙන්න ප්‍රයත්න දරන්නෙ ඕනෑම කෙනෙක්ට නිවන් දකින්න පුළුවන් බව පෙන්වාදීමයි. ඒ සඳහා අවශ්‍ය හේතුඵල දහම නිවැරැදිව පෙළගස්වාගත යුතු ආකාරය අවබෝධ කරදීමයි. මේක සාමාන්‍ය ධර්ම දේශනාවක් නෙමෙයි. පියවරෙන්, පියවර සිදු කරන ධර්ම දේශනාවක්. ඒ නිසා තමයි දවස් තුනක් පුරාවට පළමුවෙනි, දෙවැනි, තුන්වෙනි කොටස් වශයෙන් ධර්මය විග්‍රහ කිරීමට සැලසුම් කළේ…” මාර්තු 28 වැනිදා සිට දින තුනක් දේශනා කිරීමට සැලසුම් කරන ධර්ම දේශනාව ගැන උඩදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ විස්තර කරනවිට මගේ සිතේ කුකුසක් මතු විය. එක දිගට දින තුනක්, රාත්‍රී 8 සිට පාන්දර 5 වෙන තෙක් සාමාන්‍ය මිනිසුන් ධර්මය ශ්‍රවණය කරයිද යන ගැටලුවයි. මම එම පැනය උන්වහසේට ඉදිරිපත් කළෙමි.

“මේ ධර්ම දේශනාව තුළින් අපි කතා කරන්නෙ ධර්ම ගැන. අපිට තියෙන ප්‍රශ්න ගැන. ධර්මානුකූලව එම ගැටලු විසඳාගත යුතු ආකාරය ගැන. අපි එන්න කියන්නෙ බණ අහන්න නෙමෙයි. එම දින තුනේදී තම, තමන්ගෙ මානසිකත්වය උරගා බලන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. පන්සිල් රකින්න පුළුවන්ද? චිත්ත සමාධියක් අත්දකින්න පුළුවන්ද? ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න පුළුවන්ද? ආහාර, රාගය පාලනය කරගන්න පුළුවන්ද? යම් පිළිවෙත් ධර්මයක කොතරම් දුරට පිහිටගෙන ඉන්න පුළුවන්ද කියලා තේරුම් ගැනීමට මේ ධර්ම දේශනාව හොඳ අවස්ථාවක්. තම, තමන්ගේ මානසික තත්ත්වයන් සම්බන්ධයෙන් යම් අවබෝධයක් ඇති කරගැනීමට හොඳ අවස්ථාවක්. ඒ වගේම මෙවැනි ධර්ම දේශනාවකින් කරන්නෙ අහගෙන ඉන්න ශ්‍රවකයා භාවනාමය මනසිකාරයකට යොමුකරවීම. රාත්‍රියක් පුරාවට මනස කුසල් අරමුණක පිහිටවීම. එක ඉරියව්වක ඉන්න කාය භාවනාව පුරුදු කරවීම. චිත්ත භාවනාව පුරුදු කරවීම. කාය භාවනාවේ, චිත්ත භාවනාවේ උපකාරයෙන් නොදැනීම රැය පහන් වෙනවා. ඒ නිසා ධර්ම රසය දැනෙන මිනිසුන්ට රාත්‍රි තුනක් ශ්‍රවණය කරනවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. ඒ වගේම මේ ධර්ම දේශනාවේ අන්තර්ගත කරුණු ගැන මාධ්‍ය හරහා පෙර දැනුවත් කිරීමක් කරනවා. එම ධර්ම කරුණු ගැන යම් අවබෝධයක් ලබාගෙන පැමිණීමෙන් ධර්මය ශ්‍රවණය කිරීමට තවත් පහසුයි…” ධර්ම දේශනාව දින තුනක් පැය 24 ක් වුවද උන්වහන්සේගේ පැහැදිලි කිරීම කෙටිය. සරලය. ඔබට තේරුම් ගැනීමට පහසුය.

අනුරපුර මහ සෑය ඉදිරිපිට සදහම් කැඩපත ඉදිරියට ඔබත් එන්න

අදටත් මේ ලෝකය පවතිනුයේ උතුම් වූ සද්ධර්මයේ බලයෙනි. ධර්මය ජිවමානය. ධර්මය සදාතනිකය. ඒක සත්‍යයකි. එමෙන්ම මිනිස් සිත් සකස් කිරීමට ධර්මය හැර වෙනත් ඖෂධයක් ලොව නැති බව අපගේ විශ්වාසයයි. එහෙයින් දහම නොකිලිටිව, පිරිසිදුව ලෝකයට දේශනා කිරීම භික්‍ෂුන්වහන්සේගේ යුතුකමකි. එමෙන්ම භික්‍ෂූන්වහන්සේගේ මූලික වගකීම සහ යුතුකම බුදුරාජාණන් වහන්සේ ලබාදුන් පණිවිඩය නිවැරැදිව ජනගත කිරීමය. බුදුරාජාණන් වහන්සේ ගැන සද්ධාව උපදාව ගැනීමට මිහිපිට ඇති සුවිශේෂී ම පින්බිම වන රුවන්මැලි මහා සෑය ඉදිරිපිටදී දින තුනක්, පැය 24 ක් පුරාවට උඩදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ ජනගත කිරීමට සූදානම් වනුයේ බුදුරාජාණන් වහන්සේගේ පණිවිඩයයි. මෙලොවත් දහමින් ජීවත් වෙමින්, පරලොවත් සුගතිගාමී වී නිවන් අවබෝධ කරගැනීමේ පණිවිඩයයි. එමෙන්ම දින තුනක්, රාත්‍රිය මුළුල්ලෙ බුදුරාජාණන් වහන්සේගේ දෝණයක් ධාතූන් වහන්සේ වැඩසිටින රුවන්මැලි මහා සෑය ඉදිරිපිට දැහැන්ගතව ධර්ම ශ්‍රවණ කරන විට ලැබෙන ආනිශංස, ප්‍රතිලාභ මෙතෙකැයි කිව නොහැකි තරම්ය. එහෙයින් මේ දින කිහිපය පුරාවට යම් ප්‍රතිපදාවක රැඳෙමින්, ධර්මානුකූල ජීවත් වෙමින් ධර්මය ශ්‍රවණය කිරීමට රුවන්මැලි මහා සෑ රජුන් ඉදිරිපිට පැමිණෙන ලෙසට ලෝකවාසී බෞද්ධ ජනතාවට උඩදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ ආරාධනා කළහ.

දින තුනක්, රාත්‍රිය මුළුල්ලේ ධර්මය දේශනා කිරීමට අප්‍රමාණ සංසාර ගමනක පුරුදු පුහුණු වූවකුට හැර අන් අයෙකුට කළ නොහැක්කේමය. ඒ සඳහා වැඩිය යුතු පිළිවෙත් ද රැසකි. කැපවීම අසීමිතය. ඒ සියලු කැපවීම් කරන අපගේ පින්වත් උඩදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේ උතුම් ධර්මය දේශනා කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටිති. ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණෙන බැතිමතුන්ට කෑම, බීම ඇතුළු පහසුකම් ලබාදීමට සසුන් කෙත අස්වද්දමු තරුණ සංවිධානය සහ ශ්‍රී ලංකා කළ්‍යාණ මිත්‍ර සංගමය දැනටමත් කටයුතු සංවිධානය කරමින් සිටිති. ගුවන් විදුලිය, ජය ටී. වී. යූටියුබ් නාලිකාව දිවයින පුවත්පත හරහා ධර්ම දේශනාව සම්බන්ධව නිරන්තරයෙන් ලෝකය දැනුවත් කරනු ලැබේ. ඒ සියලු ආයතන, පින්වත් මිනිසුන් එක මිට ට එකතු වී සිටිනුයේ ලෝකවාසී බෞද්ධ ඔබට නිර්මල ධර්මය ශ්‍රවණය කිරීමට යොමු කරමින් මේ බියකරු සසරෙන් එතෙර කරවීමටය.

එමෙන්ම මේ සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබෙනුයේ කලාතුරකිනි. කාල විපත්තියකට මුහුණ දී සිටින රටවැසියන්ට මේ ඇසෙන ධර්මය ඖෂධයක් වැනිය. ඔබගේ ජීවිතය වෙනස් කරන බණ පදය එම දේශනාව තුළ ඇසෙන්නට ඉඩ තිබේ. එහෙයින් ඔබගේ බාහිර පෙනුම දැකබලාගැනීමට කැඩපතක් ඉදිරියට යන්නා සේ ජීවිතය ධර්මානුකූලව නිවැරැදි දැකීමට එලැඹෙන මාර්තු මස 28 වැනිද අනුරාධපුර රුවන්මැලි මහා සෑය ඉදිරිපිට ‘සදහම් කැඩපත’ ඉදිරියට පැමිණෙන ලෙසට අපිදු සිහිපත් කර සිටිමු. දින, තුනක් රාත්‍රිය පුරාවට එකම ස්වරයෙන් පින්වත් උඩදුම්බර හාමුදුරුවන්ට ධර්මය දේශනා කළ හැකි නම්, එම ධර්මය ශ්‍රවණය කිරීමට ඔබ, අපට ද පුළුවන් විය යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment