අප්‍රිකන් වෙස් ගත්ත චීනා කටුනායකදී යකා නටලා

126

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත්කළ චීන ජාතිකයකු ඊයේ (19 දා) අලුයම අත්අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට ආගමන විගමන නිලධාරීන් විසින් පියවර ගැනීමේ දී මෙම චීන ජාතිකයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් දැඩි ලෙස බාධා කර තිබේ.

ව්‍යාපාරිකයන් බව පවසමින් චීන ජාතිකයන් දෙදෙනකු සහ එක් ඊජිප්තු ජාතිකයකු පෙරේදා (18 දා) රාත්‍රී 09.50 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ආසන පහසුකම් යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙසේ පැමිණි මොවුන් තිදෙනා මෙරටට ඇතුළු වීම සඳහා සිය නිශ්කාෂන කටයුතු කර ගැනීම සඳහා ආගමන විගමන කවුළුව වෙත පැමිණ ඇත්තේ පැය දෙකකට පමණ පසුවය.

මේ අතර සිටි මෙම කණ්ඩායමේ නායක චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ ආගමන විගමන නිලධාරීවරයා වෙත අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර තිබේ. ඒ පිළිබඳව හටගත් සැකය මත මෙම ගුවන් ගමන් බලපත්‍රය සහ ඔහුගේ අනෙකුත් ලියකියවිලි, කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ඇති දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත ඉදිරිපත් කිරීමට එහි සේවය කළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා පියවර ගෙන තිබේ.

එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ පුද්ගලයකුගෙන් සොරා ගෙන, එහි ජීව දත්ත පිටුව වෙනස් කර කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් බවට කරුණු අනාවරණය වී තිබේ.

පසුව ඔහුගෙන් දීර්ඝ ලෙස මේ පිළිබඳව කරුණු විමසා සිටියදී ඔහුගේ සැබෑ චීන ජාතික ගුවන් ගමන් බලපත්‍රය සොයා ගෙන ඔහු චීන ජාතිකයකු බව සනාථ කරගෙන තිබේ. එහෙත් මෙම චීන ජාතිකයා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඉදිරිපත් කර ඇත්තේද මෙසේ කූඨ ලෙස සකස් කළ ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රය බව, එය නිරීක්ෂණය කිරීමෙන් තහවුරු වී තිබේ. ඉන්පසුව මෙම චීන ජාතිකයාව ආපසු ඩුබායි වෙත රැගෙන යෑම සදහා එමිරේට්ස් ගුවන් සේවය වෙත භාරදීම සඳහා කටයුතු කිරීමේදී, එසේ නොකරන ලෙස බල කරමින්, බලපෑම් සහගත දුරකථන ඇමතුම් රාශියක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන කාර්යාලය වෙත ලැබී තිබුණි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment