අපේක්ෂකයාට අස්වෙන්න කියා පියා නිරුවත් කර කොන්ක්‍රීට් කණුවක බැඳලා ගහලා!

679

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබා සිටින පුතාට එයින් ඉවත් වෙන ලෙස දන්වමින් වෙනත් පක්ෂයක ආධාරකරුවන් පිරිසක් පියා නිරුවත් කොට කොන්ක්‍රීට් කණුවක බැඳ පහර දී ඇති බව අදාළ අපේක්ෂකයා පවසයි.

කැබිතිගොල්ලෑව දෙකේ කණුව ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා විය.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ඉහළවැව කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචි 62 හැවිරිදි ඒ. පියරත්න නමැති විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි.

ඊයේ (27) අලුයම 2.20 ට පමණ මෙම සිදු වීම සිදුව ඇත. තමන් විසින් වසර ගණනාවක් රකිමින් සිටින පොල් වගාව වල් අලින්ගෙන් බේරා ගැනීම සඳහා පොල්වත්තට පැමිණ එහි තිබූ තාවකාලික නිවසේ නිදා ගනිමින් සිටියදී අලුයම 2.20 ට පමණ කිසියම් පුද්ගලයකු දොරට තට්ටු කරනු ඇසී මෙම පහර කෑමට ලක් වූ ඒ. පියරත්න මහතා දොර ඇර කවුරුන්ද යන්න විමසා ඇත. ඒ සමගම එක්වරම ගේ ඇතුළට පැමිණි පුද්ගලයින් දෙදෙනකු විදුලිය විසන්ධි කර ඇත. අනතුරුව තව අයකු පියරත්න මහතා අල්ලාගෙන සිට ඇති අතර අනතුරුව 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ තමන් වෙනත් දේශපාලන පක්ෂයක ආධාරකරුවන් යැයි කියා පවසා ඇත. අනතුරුව මෙම පුද්ගලයාට පහර දී නිරුවත් කොට නිවස පිටුපස තිබූ ඉදි කරමින් තිබෙන ජල ටැංකියේ කොන්ක්‍රීට් කණුවක බැඳ ඇත. එහිදී පහර දුන් පිරිස පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබා සිටින පුතාට එයින් ඉවත් වෙන ලෙස දන්වා මෙම පුද්ගලයා පිළිස්සීමට උත්සාහ කර ඇත. අනතුරුව පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ හඬ ඇසී අසල සිටි පිරිසක් පැමිණ ඇති අතර එහිදී පහර දීමට පැමිණි පිරිස පලා ගොස් ඇති බව පොලිසිය කියයි.

අනතුරුව පැමිණි පිරිස එක්වී මෙම පුද්ගලයා කැබිතිගොල්ලෑව රෝහල වෙත ගෙන ගොස් ඇත.

ඒ අනුව අප කළ විමසීමේදී කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබා සිටින එස්.ඩබ්ලිව්. බුද්ධික වත්තේවැව මහතා තම පියාට සිදු වූ පහර දීම පිළිබඳ මෙසේ කීවේය.

අපේ තාත්තාට හතුරෝ නෑ. ඉස්සර එයා වෙන පක්‍ෂයක. නමුත් දැන් එක්සත් ජාතික පක්ෂයේ. මේ පහරදීම දේශපාලන පහරදීමක්.

අපි හැමෝටම මේ පහර දීමට එක් දේශපාලන පක්ෂයක ආධාරකරුවන් පිරිසක් ගැන සැකයි. මේ වගේ සිදු වීමක් යළි සිදු නොවන්න බලධාරීන් වග බලා ගත යුතුයි.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කැබිතිගොල්ලෑව පොලිසිය සිදු කරයි.

මැදවච්චිය – ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment