අපේ කෙල්ලන්ට ඇමෙරිකාව මෙල්ල වේ

268

ලොව පළමු වරට පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම සහභාගි වූ පළමු පන්දු වාර විස්සයි-20 තරගයෙන් ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට සමත් වූයේය.

බෙනෝනිහි පෙරේදා පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දු වාර 20 අවසනදී කඩුලු 9 කට ලකුණු 96 ක් ලැබීය. ඇමෙරිකානු කණ්ඩායමට ප්‍රභල අභියෝගයක් වූ පන්දු යවන්නිය බවට පත්වූයේ දෙව්මි විහංගා වන අතර ඇය පන්දු වාර 4 දී නිලකුණු පන්දු වාරයක්ද සමඟ ලකුණු 11 කට කඩුලු 3 ක් බිඳ හෙළුවාය.

ඇමෙරිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාබිණිය වූයේ සිතූ සිං වන අතර ඇය පන්දු 23 කදී ලකුණු 22 ක් ලබාගත්තාය. දෙව්මි හැරුණු වීට වමත් දඟ පන්දු යවන්නිය වන විදුෂිකා පෙරේරා ලකුණු 15 කට කඩුලු 2 ක් දවා ගත්තාය.

ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුල්ල ලෙස නෙත්මි සේනාරත්න මුළු ලකුණු සංඛ්‍යාව 08 ක්ව තිබියදී දැවී ගිය නමුත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරන ලද විශ්මි ගුණරත්න ප්‍රධාන ශ්‍රී ලංකා පිතිකාරිණියන් ශ්‍රී ලංකා කණ්ඩායම 19 වැනි පන්දු වාරය අවසානයේදී ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු 6 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ඉලක්කය සපුරා ගන්නා විට ප්‍රතිවාදී පිලේ පන්දු යවන්නියන් දවාගැනීමට සමත්ව සිටියේ කඩුලු 3 කි.

රිතූ සිංගේ පන්දුවකට හයේ පහරක් එල්ල කළ මනුදි නානායක්කාර ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් කරන විට පන්දු 31 කදී ලකුණු 32 ක්ද නායිකා විශ්මි ගුණරත්න පන්දු 40 කදී ලකුණු 34 ක් ද ලබා සිටියහ.

පළමු කඩුල්ල දැවී යෑමෙන් පසු පිටියට එක් වුණු සුමුදු නිසංසලා (14) සහ විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ලට ලකුණු 24 ක් එක් කළහ. සුමුදු දැවී යෑමෙන් පසු පිටියට පිවිසි දෙව්මි විහංගා ලකුණු 10 කට දැවී යද්දී විශ්මි සහ මනුදි ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම පන්දු වාර 20 කදී කඩුලු 9 ට ලකුණු 96 යි – (රිතූ සිං 22, ඩීෂා දින්ග්‍රා 18, ගීතිකා කොඩලි 11, දෙව්මි විහංගා 11/3, විදුෂිකා පෙරේරා 15/2)

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19 කදී කඩුලු 3 ට ලකුණු 100 යි – (විශ්මි ගුණරත්න (නොදැවී) 34, මනුදි නානායක්කාර (නොදැවී) 32, සුමුදු නිසංසලා 14, දෙව්මි විහංගා 10, භූමිකා බද්‍රිරාජු 17/2)

advertistmentadvertistment
advertistmentadvertistment