අපේ ඩොලර් ටික ගිල දමන්නට පිට අය දත කනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා

529

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රහණවල තිරය පිටුපස සලකුණක්
අපි පිටින් ණය නොඉල්ලීම ඇතැමුන්ට පුදුමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන 40ක වත්කමක් හිමි බවත් තම ආයතනයේ මෙම පොහොසත්කම දන්නා බාහිර පාර්ශ්වයන් එක් එක් චෝදනා කරමින් ආයතනයේ බලය පෙරළා මෙම ඩොලර් ටික ගිල දමන්නට උත්සාහ කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ඊයේ (15වැනිදා) ප්‍රකාශ කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලොව දියුණු රටක් වන නවසීලන්තයේ ක්‍රිකට් ආයතනයටත් වඩා පොහොසත් ආයතනයක් බව තමන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.

කොටින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ණය නොඉල්ලන ආයතනයක් බවත් අප එසේ ණය නොඉල්ලන්නේ මන්දැයි වෙනත් ක්‍රිකට් ආයතන පුදුමයට පත්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මෙතරම් මුදලක් පවතින බව දන්නා අප රටේ ඇතැම් බාහිර පාර්ශ්වවලට එම තත්ත්වය දරාගන්න නොහැකි බවත් කුමන දෙයක් හෝ කර මේ තත්ත්වය විනාශ කරන්නට හෝ බලය උදුරා ගෙන හෝ ඩොලර් ටික ගිල දමන්නට ඔවුන් දත කන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසීය. ආසියානු ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුවත් එහි සත්කාරකත්වය ශ්‍රී ලංකා විසින් දරනු ලැබීම හේතුවෙන් ඩොලර් මිලියන 6.5කට වැඩි මුදලක් ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත බවත් එය අපේ රටින් පිටට යෑම පාඩුවක් ලෙස කවුරුන් හෝ දකින්නේ නම් ඔවුන් සමග ඒ පිළිබඳව කතා කිරීමට තමා සූදානම් බවත් එහෙත් ක්‍රිකට් පිළිබඳ නොදන්නා අය කරන චෝදනා තමන් කිසිලෙසකත් ගණන් නොගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

තමන් බලයට පත්වන විට ඩොලර් මිලියන 2 ක ආදායමක් හිමිව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතරම් පෝසත් එකක් බවට පත් වීමට හේතුව තමන් ඇතුළු විධායක මණ්ඩලය අවශ්‍ය නිවැරදි තීරණ හරි මොහොතේ ගැනීම බවත් එතැන් පටන් හරි මගක ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් මෙතරම් දියුණු වීම අරුමයක් නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ඉතා සාර්ථකව නිමා කළ බවත් ඒ සඳහා සහයෝගය දුන් ආසියානු ක්‍රිකට් සංගමයට සහ එමිරේට්ස් ක්‍රිකට් ආයතනයට තම ස්තුතිය පුද කරන බවත් සභාපතිවරයා සඳහන් කළේ ය.

මහේල ජයවර්ධන මහතා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිට වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් දක්වාම පුහුණු උපදේශකවරයකු ලෙස කටයුතු කරන බවත් ඒ මහතාගේ සේවය මෙම ක්‍රිකට් කණ්ඩායම්වල සෙවනැල්ල සේ රැඳී පවතින බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් සතු ධනාත්මක සාධකයක් ලෙස දකින බවත් ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.

මහේල ජයවර්ධන මහතා පුහුණු උපදේශකයකු වූ පමණින් ඔහු සෑම තරගාවලියකටම සහභාගි වීම අපි අපේක්ෂා නොකරන බවත් එහෙත් කණ්ඩායම්වලට ක්‍රීඩකයන් තේරීමේ පටන් ක්‍රීඩා පිටිය තුළ සිදුකරන ඇතැම් කර්තව්‍යයන් හිද පිටුපස සිටින දැවැන්ත චරිතයක් ලෙස ඒ මහතා හැඳින්විය හැකි බවද ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment