අභියෝග ජයගනිමු

105

දිනපතා ‘දිවයින’ ‘දි අයිලන්ඩ්’ පත්තර ආරම්භ කර පෙබරවාරි 4 නිදහස් දිනට (අදට) වසර 41ක් ගත වෙයි.

මෙම පත්තර වල ආරම්භයේ සිට මේ දක්වා සේවය කිරීමට මට හැකිවීම මහත් ආඩම්බරයකි. ගෙවුණු 41 වසර ‘දිවයින’ ‘දි අයිලන්ඩ්’ පත්තර විශාල අභියෝගවලට මුහුණ දුන්නේය. ‘දිවයින’ ‘දි අයිලන්ඩ්’ පත්තර දිනෙන් දින ජනතා ප්‍රසාදයට ලක්වීම හේතුවෙන් එම පත්‍ර බෙදාහරින නියෝජිතයන් අලෙවි කළ යුතු පත්‍ර ප්‍රමාණය තුන් හතර ගුණයකින් වැඩි කළේය.

එවකට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්, රජයේ නිලධාරීන් ප්‍රවෘත්ති සාකච්ඡාවලට අපව කැඳවන අවස්ථාවලදී ‘දිවයින’ කට්ටිය ආවට පස්සේ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වමු යැයි ඔවුන් අනන්තවත් සෙසු පත්තර වලින් පැමිණි වාර්තාකරුවන්ට පවසා තිබිණි.

‘දිවයින’ ‘දි අයිලන්ඩ්’ පත්තර ඒ තරමට ජනප්‍රිය වී තිබිණි. පොලිසියෙන් සාධාරණයක් ඉටුනොවූ පුද්ගලයින් අපි මේක ‘දිවයින’පත්‍රයට කියනවා යැයි සමහරු පොලිස් නිලධාරීන්ට එසේ අනන්තවත් දැනුම් දී තිබිණි.

අයුක්තිය, අසාධාරණය දුටු තැන නොබියව ඇත්ත කී ‘දිවයින’ ‘දි අයිලන්ඩ්’ පත්‍රවලට නොයෙක් බාධක තර්ජන එල්ල වූයේ භීෂණ යුගයේ සහ උතුරේ කොටි ත්‍රස්තවාදීන් ගෙන්ය. උතුරු නැගෙනහිර පළාත්වල ‘දිවයින’ ‘දි අයිලන්ඩ්’ පත්තර බෙදාහැරීම පවා කොටි වරක් තහනම් කර තිබිණි.

මෙම තත්ත්වය මත අපේ පත්තර බෙදාහරින වාහනවලට පවා පොලිස් ආරක්‍ෂාව ඉල්ලීමට අපට සිදුවිය.

භීෂණ යුගයේදී අප ලියූ ප්‍රවෘත්තිවලට ආණ්ඩු පාර්ශ්වයෙන් මෙන්ම මව්බිම නැතිනම් මරණය කියාගත් පිරිසක ගෙන් මට ද විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවිය.

ඒ හැම ප්‍රශ්නයකටම ‘දිවයින’ ‘දි අයිලන්ඩ් පත්තර මුහුණ දුන්නේය. ඒ සෑම මොහොතකම අපේ ආදර පාඨකයන් අප සමග සිටියේය. ඔවුහු අදත් අප වටා සිටිති. දිවයින දි අයිලන්ඩ් පත්‍රවල අභීත ගමන නොරිස්සූ ඇතැම් අය ඔය පත්තරය වැඩි කළක් ගෙනියන්නේ නැතැයි කියමින් විවිධ කතා ප්‍රචාරය කළේය.

පසුව අපට දොස් තැබූ උදවිය පවා දිවයිනේ සේවය කිරීමට කැමති බව දැනුම්දී තිබිණි.

‘දිවයින’ පත්‍රයේ මුලින්ම සේවය කිරීමට පැමිණි දක්‍ෂ ඡායාරූප ශිල්පියකු වන විමල් එස්. සුරේන්ද්‍ර මෙහිදී අප සිහිපත් කළ යුතුමය.

එවකට ආණ්ඩුවේ වැරදි කරන මැති ඇමැතිවරු මෙන්ම ප්‍රභූවරයකුගේ වැරදි ක්‍රියාවන් අපේ ඡායාරූප ශිල්පියා ලුහුබැඳ ගොස් කැමරා ගත කළ අවස්ථා එමටය. එහෙත් විමල් සුරේන්ද්‍ර වැඩි කාලයක් එම රැකියාව කරගෙන ගියේ නැත. ඔහු කඳානේදී අභිරහස් අන්දමින් මියගොස් තිබිණි. ඔහුගේ හෙල්මට් එක එම පළාතේ දේශපාලනඥයකුගේ නිවසේ තාප්පය උඩ තබා තිබිණි.

මෙම මරණය අදටත් අභිරහසකි.

අභියෝග ජයගනිමු
ප්‍රවෘත්ති සාකච්ඡාවක තියුණු අවස්ථාවක්
ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

“දිවයින” “දි අයිලන්ඩ්” පත්‍රවල ඡායාරූප ශිල්පියෝ ද වාර්තාකරුවෝ ද සමාජයේ මේ වනතුරුත් උසස්

පිළිගැනීමකට ලක්වෙති. ඊට හේතුව මෙම පත්‍රවලට ජනතාව දක්වන වැඩි කැමැත්ත සහ ආදරය නිසාය.

උතුරේ කොටි කලබල සිදුවූ සෑම මොහොතකම සිද්ධිය වූ සැනින් හමුදා නිලධාරීන් මෙන්ම පොලිසියේ නිලධාරීන් නොයෙක් ප්‍රශ්න මැද්දේ වුවද “දිවයින”ට කතා කිරීමට අමතක කරන්නේ නැත. බිම් බෝම්බයක් පිපුරුණා, ක්ලේමෝ බෝම්බයක් පිපිරුණා, අහවල් ගමට කොටි ප්‍රහාරයක් එල්ල කළා, ගුවන් යානයකට කොටි ප්‍රහාරයක් එල්ල කළා යන සිද්ධීන් දුරකථන මගින් එක දිගටම එම නිලධාරීන් අපට දැනුම් දුන්නේ ‘දිවයින’ ‘දි අයිලන්ඩ්’ පත්‍රවලට තිබෙන දැඩි කැමැත්ත සහ ආදරය නිසාය.

අතුරුගිරිය වානේ සංස්ථාව භූමියේ පිහිටි කඳවුරක සිටි හමුදා භටයන් 13 දෙනකු ප්‍රකෝප වූ හමුදා භටයකු විසින් වෙඩි තබා ඝාතනයට ලක් කරනු ලැබූ මොහොතේ එම සිද්ධිය වාර්තා කිරීමට මමත් ඡායාරූප ශිල්පි ජූඩ් ඩෙන්සිල් පතිරාජත් එහි ගිය මොහොතේ එම ස්ථානයට අපට යෑමට තහනම් කර තිබිණි. අප පත්‍රයට පමණක් නොව සෙසු පත්‍රවලටද එහි යෑමට තහනම් කර තිබිණි. එවකට හමුදාපති ජනරාල් හැමිල්ටන් වනසිංහ මහතා ඈත සිට මා දුටුවේය. ‘දිවයින’ පත්‍රයෙන් ඇවිල්ලා නෝමන්ට එන්න දෙන්න යැයි හමුදාපතිවරයා එහි සිටි තවත් හමුදා නිලධාරියකුට කෑගැසුවේය. හමුදාපතිවරයා “දිවයින” “දි අයිලන්ඩ්” පත්‍ර මහත් පිළිගැනීමකට ලක්කර තිබිණි.

පණිවුඩය ලද මොහොතකින් වෑන් රියකින් කොටි විනාශ කළ ගමකට යෑමට අපි තීරණය කළෙමු.

උතුරු නැගෙනහිර මෙන්ම උතුරු මැද මායිම් ගම්මානවල පිහිටි නිවෙස්වල නිදාසිටි අහිංසක දරුවෝ මව්පියන් අතදරුවෝ අමු අමුවේම නිදි පැදුරේම ඝාතනයට ලක්කර තිබෙන අවස්ථා අපි අනන්තවත් දැක ඇත්තෙමු.

උදේ සිට මහා රාත්‍රියේ සිට රට තොට වෙන සිදුවීම් වාර්තා කිරීම සඳහා දිවයින දි අයිලන්ඩ් පත්‍ර සුවිශේෂ සේවයක් ඉටුකරමින් පාඨකයන්ට අලුත් පුවතක් ලබාදීමට අපි අදත් වෙහෙසෙමු. රට තොට සිදුවීම් පමණක් නොව දේශපාලන පෙරළි මත ගැටුම් මෙන්ම අඩුපාඩු ප්‍රශ්න වෙනුවෙන් ද අපි මෙම අනාවරණය කරන්නෙමු.

වසර 41ක් තිස්සේ එම සුවිශේෂ ගමන (වෘත්තිය) දිවයින දි අයිලන්ඩ් පත්‍රවල සේවය කරමින් මම මහත් අභිමානයෙන් මෙන්ම ආඩම්බරයෙන් යුතුව මෙහි සඳහන් කරමි. ගතවූ 41 වසර තුළ දිවයින දි අයිලන්ඩ් පත්‍රවල සිදුකරන මෙම සුවිශේෂ මාධ්‍ය ගමනේදී ලැබූ අත්දැකීම් සමූහය විශාලය. මෙම සෑම අත්දැකීමකම ත්‍රාසය භීතිය කුතුහලය මෙන්ම හාස්‍ය රසයත් වෙයි.

ඉදිරියේදීත් “දිවයින’‘, “දි අයිලන්ඩ්” පත්‍ර ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම්ය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment