පිටරට පැන්න කෙරුමන්ගේ නමින් කප්පම් ගන්න ‘වෙන්න පාතාලය’

3133

පාතාලයේ බොනැස්සා ගේම් රට වටේම…

කවුද මේ මතුගම ෂාන්….

“හෙලෝ.”

“ඔව් කියන්න.”

“දන්නවද මම කව්ද කියලා.”

“නැහැ මම දන්නෙ නැහැ.”

“මතුගම ෂාන් කියන්නේ මට.

“ඔව් ඉතින්.”

“මං ගැන අහලා ඇතිනෙ.”

“කියන්න ඉතින්.”

“ඔයා ගුණවර්ධන හාඩ්වෙයාර් එකේ අයිතිකාරයානේ.”

“ඔව් ඇයි කතා කරන්නේ.”

“හොඳට දන්නවනේ මං ගැන. මිනී දෙක තුනක් මරලා ඩුබායි ඉන්න ෂාන් මල්ලි තමයි මම. ඔයාට කෝල් එකක් ගත්තෙ ඔයත් එක්ක කතා කරන්න ඕන නිසා දැන්.”

“මොනවා ගැන කතා කරන්න ද?”

“මෙන්න මේක හොඳට අහගන්න. අපි ආයුධ කෑල්ලක්වත්, කොල්ලෙක්වත් ඕගොල්ලන්ගේ ගෙවල්වලට එවන් නැතුව පාඩුවේ බිස්නස් එක කරන් ඉන්න දෙනවා.”

“ඉතින්”

“ඉතින් කියන්නේ මෙන්න මේකයි. මම කෙළින්ම කතාවට බහින්නම්. ඇත්තටම මේ වෙලාවේ මට සල්ලි ටිකක් ඕනා. ලක්ෂ ගණන් කෝටි ගණන් ඉල්ලන්නේ නැහැ. කැමති ගානක් දෙන්න.”

“ඇයි මම නිකන් සල්ලි දෙන්නේ.”

“මේක අපේ ඒරියා එක. පාඩුවේ බිස්නස් කරන් යන්නේ මම නිසා. ඒක නිසා අනිවාර්යෙන්ම මට සල්ලි දෙන්න ඕනා. නැත්තං දන්නවනේ මගේ හැටි. යකඩ කෑල්ලක් ඔළුවට තියලා තමයි සල්ලි ගන්නේ.”

“ඔයා මේ කප්පම් ඉල්ලන්නේ.”

“කැමති විදිහට ඔයා හිතාගන්න. සල්ලි නොදුන්නොත් ගන්න ඕන විදිහ මම හොඳට දන්නවා. ඒක නිසා නිකන් දඟලලා වැඩ වරද්ද ගන්න එපා. මම එකවුන්ට් නම්බර් එකක් එවන්නම්. අද හවසට ඒකට සල්ලි දාන්න. කෝටි ගණන් ලක්ෂ ගණන් ඉල්ලන්නේ නැහැ නේ. තියෙන ගාන දාන්න. මේ ඒරියා එකේ හැමෝම මට සල්ලි දෙනවා. එහෙම නොදුන්නොත් මගේ කොල්ලෙක් අත යකඩ කෑල්ලක් එවන්නම්.”

මේ මතුගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට මතුගම ෂාන් ජයසිංහගේ නම හාවිත කරමින් කිසියම් පුද්ගලයකු විසින් කප්පම් මුදල් ඉල්ලා ලබාදුන් දුරකථන ඇමතුමකි. එතනින් නොනැවතුණු එම පුද්ගලයා මතුගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමිටද ඇමතුමක් ලබා දුන්නේ මෙලෙසින්ය.

“අවසරයි අපේ හාමුදුරුවනේ.”

“අවසරයි කවුද මේ මහත්තයා.”

“දන්නවනේ මම මතුගම ෂාන්.”

“ඔව් දන්නවා කියන්න මහත්තයා. මොකක්ද වුවමනාව.”

“වුවමනාවන් නම් ගොඩක් තියෙනවා අපේ හාමුදුරුවනේ.”

“එහෙමනම් පන්සල පැත්තේ එන්න කතා කරගන්න.”

“ඒවා පන්සලට ඇවිත් කතා කරගන්න බැහැ හාමුදුරුවනේ.”

“එහෙනම් කැමති විදිහකට මහත්තයා කියන්න.”

“එහෙනම් අපේ හාමුදුරුවනේ කෙළින්ම මම කතාව කියන්නම්.”

“කියන්න මහත්තයෝ.”

“මට සල්ලි ටිකක් ඕනා හාමුදුරුවනේ.”

“ඇයි මහත්තයට මම සල්ලි දෙන්න ඕනා.”

“හාමුදුරුවනේ මම දන්නවා පන්සලට මාසෙට හොඳ ආදායමක් ලැබෙනවා. ඒක නිසා තමයි මම මේ සල්ලි ටිකක් ඉල්ලන්නේ. අපිටත් ප්‍රශ්න තියෙනවනේ.”

“ප්‍රශ්න තියෙනවා නං ඒවට විසඳුම් හොයා ගන්න. ලැජ්ජ නැද්ද ඔහොම සල්ලි ඉල්ලන්න.”

පිටරට පැන්න කෙරුමන්ගේ නමින් කප්පම් ගන්න 'වෙන්න පාතාලය'

“හාමුදුරුවනේ දන්නවනේ මගේ හැටි. මට ලැජ්ජා බය කියලා දෙයක් නැහැ. අපි ජීවත් වෙන්න ඕනා. මම දන්නවා පන්සලට හොඳ ගාණක් මාසෙට හම්බෙනවා කියලා. ඒකෙන් ටිකක් ඉල්ලන්නේ.”

“මහත්තයෝ මම හොඳින් කියන්නේ ඔයාට දෙන්න සල්ලි මගේ ළඟ නැහැ. තිබුණත් නිකං මොකටද මම සල්ලි දෙන්නේ.”

“හාමුදුරුවනේ ඔහොම කතා කරන්න එපා. දන්නවනේ මගේ හැටි. ඕන කෙනෙක් මට එකයි.”

“මහත්තයා වෙන කාගෙන්හරි ඉල්ලගන්න. නිකන්නම් මම සතයක් වත් දෙන්නෙ නැහැ. විශේෂයෙන් ඔය වගේ අයට.”

“එහෙමද හාමුදුරුවනේ. බලාගමු ඉස්සරහට වෙන දේ.”

“අනේ මහත්තයෝ මම මේ පන්සලේ ඉන්නේ. විසිහතර පැයේම ගේට්ටුව ඇරලා තියෙන්නේ ඕන වෙලාවක ඇවිත් ඕන දෙයක් කරලා යන්න කිසි ප්‍රශ්නයක් නෑහැ. අනික මතුගම ෂාන්ව මම පොඩිකාලේ ඉඳන්ම හොඳට අඳුරනවා. එයා කවුද කියන්නත් මම දන්නවා. ඒක නිසා බොරුවට රඟපාන්න එපා ෂාන් වගේ.”

එපමණක් නොව මෙම පුද්ගලයා හෝ කල්ලිය මතුගම, අගලවත්ත, බදුරලිය, බුලත්සිංහල, නෙළුව, පැලවත්ත, වැලිපැන්න, අලුත්ගම සහ කළුතර යන ප්‍රදේශවල ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන් ආදී නොයෙක් වෘත්තිකයන්ගෙන් පමණක් නොව ප්‍රසිද්ධ විහාරස්ථානවල වැඩවසන නායක භික්ෂූන් වහන්සේ ගෙන් ද කප්පම් මුදල් ඉල්ලති. එහෙත් එයින් බහුතරයක් මතුගම ශාන්ව පෞද්ගලිකව අඳුරති. එලෙස දන්නා අය මෙම කතා කරන පුද්ගලයන්ට කප්පම් මුදල් ලබා නොදෙයි. නොදන්නා පුද්ගලයන් පාතාලයට සහ ජීවිතයට ඇති බිය නිසා එලෙස ඉල්ලන කප්පම් මුදල් ලබා දෙයි.

මෙය මතුගම ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන අද ඊයේ සිදුවූවක් නොව වසර දෙකකට පමණ ආසන්න කාලයක සිට සිදු වූ දෙයකි. පාතාල ලෝකයේ මෙයට කියනුයේ “බොනැස්සා” ගහනවා කියාය. මෙලෙස වැඩිවශයෙන් “බොනැස්සා” ගසනුයේ රක්ෂිත

බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන්ය. ඔවුන් නමගිය පාතාල නායකයන් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් සහ විවිධ වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම සිදු කර ගෙනයයි. මෙය මතුගමට පමණක් නොව මුළු ලංකාව පුරාම සිදුවන ජාවාරමකි. මෙලෙස කප්පම් මුදල් ඉල්ලා ඔබටත් දුරකථන ඇමතුමක් ලැබුණහොත් ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කරන්න. ඒ මන්ද යත් නමගිය පාතාල අපරාධකරුවන්ට වඩා මෙලෙස මුදල් ඉල්ලන්නේ වෙනත් පුද්ගලයන් නිසාය. මාසිකව කප්පම් මුදල් ගන්නා නමගිය පාතාල අපරාධකාරයෝද සිටිති.

ෂාන් ජයසිංහ ගේ නම විකුණමින් මෙලෙස කප්පම් මුදල් එකතු කිරීමේ ජාවාරමක නිරත වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව තවමත් සොයාගෙන නොමැත. ඒ පිළිබඳව “මතුගම ෂාන්” විටින් විට පැමිණිලි කිහිපයක්ම දමා තිබේ.

දැනට වසර දෙකකට පමණ පෙර එකල පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිටද ලිඛිතව ඔහු මේ පිළිබඳව පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ලත් සමගම පොලිස් නිලධාරීහු බුද්ධි අංශ ද සම්බන්ධ කරගෙන මේ පිළිබඳව දීර්ඝ පරීක්ෂණයක් සිදු කළහ. එහිදී අනාවරණය වූයේ වෙනත් පුද්ගලයන් විසින් මෙය සිදුකරන බවයි. ඒ පිළිබඳව මතුගම අධිකරණයේ අංක ඊඍ 1682/20 යටතේ නඩුවක්ද දමා තිබුණි.

එලෙස නඩු දැමුවත් මෙය නතර කළ නොහැකි විය. යළි යළිත් එම පුද්ගලයන් “මතුගම ෂාන්” ලෙස පෙනී සිටිමින් “බොනැස්සා” ක්‍රමයට ව්‍යාපාරිකයන්ගෙන් සහ විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමේ ජාවාරම සිදුකර ගෙන යයි. එම නිසා දැනට සති කිහිපයකට පෙර යළිත් වරක් ඔහු මේ පිළිබඳව පැමිණිල්ලක් දැමුවේය.

කවුද මේ “මතුගම ෂාන්”. ෂාන් ජයසිංහ යනු මෙරට පොලිසියට අවශ්‍යව ඇති අංක එකේ පුද්ගලයෙකි. ඔහු දැනට සිටින තැන කිසිවෙකුත් නොදනී. සමහරු පවසනුයේ ඔහු මෙරට සැඟවී සිටින බවයි. තවත් සමහරු පවසනුයේ ඔහු වෙනත් පාතාල නායකයන් මෙන් විදෙස් රටකට පැන ගොස් ඇති බවයි. එහෙත් එහි සත්‍ය අසත්‍යතාව සොයා ආරක්ෂක අංශ පරීක්ෂණ සිදුකරමින් පවතී.

“මතුගම ශාන්” කොතැනක සැඟවී සිටියත් තමාගේ නම භාවිත කරමින් ව්‍යාපාරිකයන් ඇතුළු වෘත්තිකයන්ගෙන් කප්පම් මුදල් ඉල්ලා ගන්නා අයට විරුද්ධව පැමිණිලි එකල සිටම දමා තිබේ. ඒ තමා මෙම කප්පම් ඉල්ලීමේ සිද්ධියට කිසිලෙසකත් සම්බන්ධ නොමැති බව පෙන්වීමටයි. ඔහුගේ ෆේස්බුක් ගිණුමේද නිරන්තරයෙන්ම මේ පිළිබඳව සටහන් කර තිබේ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment