අරගලබිමේ මියගිය ශිරාස් එක්ක ටීෂා කරපු සින්දුව එළියට

175

මීට අවුරුදු 16 කට කලින් රන්වන් රන් මාල පළඳා ගීතය හරහා ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණ ටීෂා පෙරේරා මේ වනවිට ජීවත්වන්නේ ඇමරිකාවේ. අවුරුදු 14 කට පස්සේ ටීෂා ලංකාවට ඇවිත් අලුත් ගීතයක් නිර්මාණය කළා. මේ ගීතය නිර්මාණය කළේ එදා අරගල භූමියේදී ක්‍රියාකාරී සාමාජිකයකුව සිටියදී අරගල භූමියේදීම මියගිය රැප් ගායක ශිරාස් සමගින්. ඒත් එක්කම මෙහි යුග ගායනය භාචි සුසාන් විසින් සිදුකර තිබීම තවත් සුවිශේෂත්වයක්. ෂෙහාන් ගලහිටියාවගේ පද රචනයෙන් චතුරංග ද සිල්වාගේ සංගීතයෙන් හා තනු නිර්මාණයෙන් කරලියට ආ ‘රහසින් එන්නම්. ගීතය ගැන අපි ටීෂා පෙරේරා සමඟ පුංචි පිළිසඳරක යෙදුණා.

ටීෂා කොහොමද ඉතිං?

මම හොඳින් ඉන්නවා. මගේ අලුත්ම ගීතය එළිදක්වපු නිසා එහි ප්‍රචාරණ වැඩවලට මේ දිනවල මහන්සි වෙනවා. ඒ හින්ද ටිකක් විතර ලයිෆ් එක බිසී.

ආපහු කවදාද ලංකාවට එන්නේ?

ලංකාවට එන දවසක් දැන්ම කියන්න බැහැ. සමහර විට නැවත මම ලංකාවට එන්නේ අවුරුදු තුනකින් හෝ පහකින්. කොහොමත් ඉතිං මම කවදා හරි දවසක ආපහු ලංකාවට යනවා කියන එක නම් දන්නවා.

අරගලබිමේ මියගිය ශිරාස් එක්ක ටීෂා කරපු සින්දුව එළියට

“රහසින් එන්නම්” ගීතය එළිදැක්වූයේ කොච්චර කාලෙකට පස්සෙද?

රහසින් එන්නම් ගීතය එළිදැක්වූයේ අවුරුදු දාහතරකට පස්සේ. මීට කලින් මම පුංචි පුංචි ගීත කිහිපයක් එළිදැක්වූවා. නමුත් මියුසික් වීඩියෝ එකක් කළේ නැහැ. දැන් තියෙන ටේ‍රන්ඩ් එකත් එක්ක වෙනසක් කරන්න ඕනෑ කියලා හිතුණ හින්ද තමයි ‘රහසින් එන්නම්. ගීතය එළිදැක්වූයේ.

ලැබෙන ප්‍රතිචාර?

දැනට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි.

මියුසික් වීඩියෝව කළේ ලංකාවෙන් යන්න කලින්ද?

ඔව්. මම මේ පාර ලංකාවට ආවේ පසුගිය මාර්තු මාසයේ. ඒ පාර තමයි ගීතය පටිගත කරලා මියුසික් වීඩියෝ එකත් කරලා ලංකාවෙන් ගියේ. මේ වැඩේ කරන්නම තමයි ලංකාවට ආවේ.

මේ ගීතය ඔබේ ශෛලියට වඩා වෙනස් නේද?

මම හිතනවා මගේ ශෛලිය තිබෙනවා කියලා. මොකද මම එදා ඉඳලා නිර්මාණය කළේ ඩාන්ස් කරන්න පුළුවන් ගීත. මොකද රන්වන් රන් එකේ ඉඳලා අරුණැල්ල රැය පුරා වැනි ගීත රැසක රැප් මියුසික් තිබුණා. මම ඒකාලේ කරපු රන් වන් රන් ගීතයට වඩා පොඩ්ඩක් වෙනස් මේක මගේ ශෛලිය කියලයි මම හිතන්නේ.

අරගලයේදී මියගිය ශිරාස් මේ ගීතයට රැප් ගායනයෙන් එකතු වෙනවා?

ශිරාස්ව මම ඇත්තටම ලංකාවට ඇවිත් තමයි සම්බන්ධ කරගන්නේ. ඊට පස්සේ මම ශිරාස්ව හම්බවෙලා ශිරාස්ගේ ශබ්දාගාරයේ රැප් කොටස පටිගත කළා. වීඩියෝ එක කරන්න දින පවා නියම කරගෙන ඉන්නකොට තමයි අරගලයේදී ශිරාස් අවාසනාවන්ත ලෙස මියගියේ. ඒක ඇත්තටම මට ලොකු ශොක් එකක් වුණා. මට භාචි තමයි මුලින්ම කිව්වේ ශිරාස් නැතිවෙලා කියලා. මම වීඩියෝ එක දකිද්දී ශිරාස්ගේ අඩුව ලොකුවට පේනවා. ශිරාස් කියන්නේ අපට අහිමිවුණ දක්‍ෂ රැප් ගායකයෙක්.

අරගලබිමේ මියගිය ශිරාස් එක්ක ටීෂා කරපු සින්දුව එළියට

ශිරාස් අද ජීවතුන් අතර නැහැ. මොකද හිතෙන්නේ?

ශිරාස් අද ජීවතුන් අතර නැහැ කියන එක මට ඇත්තටම තවම හිතාගන්න බැහැ. ඒක සෑහෙන කාලයකට හිතෙන් අයින් වෙන්නේ නැති දෙයක්. මොකද හොඳට කතාබහ කරලා මේ වීඩියෝ එකට ගොඩක් දේවල් සැලසුම් කරපු කෙනා දවස් තුනකට පස්සේ නැතිවුණා කියන කොට ඒක හිතාගන්න බැරිවුණා.

රහසින් එන්නම් ගීතය කරන කොට ශිරාස් දුන්න අදහස් මොනවාද?

ශිරාස්ට මම මුලින්ම කෝල් කළාට පස්සේ කිව්වේ එයා එදා ඉඳලා ආසාවෙන් හිටියේ මාත් එක්ක ගීතයක් කරන්න කියලා. ශිරාස් කිව්වේ ටීෂා මට ලොකුම ලොකු දෙයක් ඔයත් එක්ක ගීතයක් කරන්න ලැබෙන එක ගැන කියලා.

එතකොට භාචිව එකතු කර ගන්න හිතුවේ?

භාචිව රෙකමන්ඩ් කළේ චතුරංග ද සිල්වා” මගේ ට්‍රැක් එක කරපු කෙනා මොකද එයානේ ලංකාවේ ඉන්නේ. මම ඇමරිකාවෙනේ ඉන්නේ. මම ඇත්තටම දන්නේ නැහැ දැන් ලංකාවේ මොනවගේ ස්ටයිල්ද තියෙන්නේ කියලා. මොනවගේ දේවල්ද අපි කරන්න ඕනෑ කියලා. ඉතිං චතුරංගගෙන් තමයි ලොකුම සහයෝගය තිබුණේ. මීට කලින් මම භාචි අයියත් එක්ක වැඩ කරලා තියෙනවා.

රන්වන් රන් මාල තරම් මේ ගීතය හිට් වෙන එකක් නැහැ නේද?

රන්වන් රන් මාල ගීතය ඇත්තටම ලංකාවේ විශාල වෙනසක් ඇති කරපු ගීතයක්. 2006 දී තමයි මම ඒ ගීතය කළේ. එතකොට මම හිතන්නේ ‘රහසින් එන්නම්. කියන ගීතය 2022 දී වෙනසක් ඇති කරපු ගීතයක් කියලා. දැන් තියෙන ටේ‍රන්ඩ් එකත් එක්ක බැලුවොත් මේ ගීතය ගොඩක්ම වෙනස්. ඉතිං මම දන්නේ නැහැ. රන්වන් රන් ගීතය තරම් මේක ප්‍රසිද්ධ වෙයිද කියලා. ඒක තීරණය වෙන්නේ රසිකයන්ගේ තීරණය අනුවයි. එයාල මේ සින්දුව ආදරෙන් වැළඳ ගත්තොත් හිට් වෙයි. අපිට තියෙන්නේ සින්දුවක් රිලීස් කරලා බලන් ඉන්න එක විතරයි.

රූප රචනාව කාගේ අදහසක්ද?

ඇත්තටම මේකේ වීඩියෝ එක කළේ පුෂ්පිත නිර්මාල්. එයා ඇත්තටම ඉස්සර මගේ ලොකු රසිකයෙක්. ඒක දැන ගත්තෙත් මම ඔහුත් එක්ක කතා කළහම. ඉස්සර මගේ කොන්සර්ට් වලටත් එහෙම එනවලු. ඉතිං කොහොම හරි මට පුෂ්පිතව හම්බවුණාට පස්සේ මගේ අදහස් ඔවුන්ට යැව්වා. මේකේ රූප රචනාව අපි ඔක්කොම එකතුවෙලා කරපු දෙයක්..

ඇමරිකාවේ ඉඳගෙන ලංකාවට ගීත කරලා වැඩක් තියේවිද?

ඇත්තටම ඇමරිකාවේ ඉඳලා ලංකාවට ගීත කරලා වැඩක් නැහැ තමයි. සාමාන්‍යයෙන් කලාකරුවෙක් ගීතයක් නිකුත් කළාම හම්බ කරන ක්‍රමය තමයි ප්‍රසංග. ඉතිං ඒ අවස්ථාව මට නැහැ. මම දැන් සින්දු රිලීස් කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි. මම මේක ඇත්තටම කරන්නේ මගේ රසිකයෝ වෙනුවෙන්. මට ඇත්තටම මේකෙන් ලැබෙන දෙයක් නැහැ. මේ ගීතය වුණත් කියන්න මම ලංකාවේ නැහැනේ. මම මේ ගීතය ඇත්තටම කළේ මගේ සතුට සහ මගේ රසිකයන්ගේ සතුට වෙනුවෙන්. ඊට අමතරව මට වෙන දෙයක් නැහැ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment