ආණ්ඩු හදන්නත් පෙරළන්නත් මාධ්‍යයට පුළුවන් ආණ්ඩු රැක ගැනීම බලයේ සිටින අයගේ වගකීමයි

140

ආණ්ඩු බිහි කිරීමටත් ආණ්ඩු බිඳ දැමීමටත් ජනමාධ්‍යයට හැකිමුත් ආණ්ඩු ආරක්‍ෂා කිරීමට ජනමාධ්‍යයට නොහැකි බවත් එහි වගකීම ඇත්තේ බලයේ සිටින ආණ්ඩුවලට පමණක් බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනමාධ්‍යවේදීන් සඳහා ඇසිදිසි රක්‍ෂණාවරණය පිරිනැමීම වෙනුවෙන් පැවැති උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

ජනමාධ්‍ය සඳහා සෑම ආණ්ඩුවක්ම කරන චෝදනාවක් වන්නේ ආණ්ඩුව විවේචනය කරනවා හැර ආණ්ඩුවේ සංවර්ධන කටයුතු ගැන ප‍්‍රචාරය කරන්නේ නැති බවයි. ආණ්ඩුවක සංවර්ධන ප‍්‍රවෘත්ති බලන්න රටේ බහුතරයක් ජනතාව එතරම් උනන්දුවක් නැහැ. ජනතාව කැමැති ආණ්ඩුව විවේචනය කරනවා අහන්න දකින්නයි. එනිසා ජනමාධ්‍යයත් නිතරම පවතින ආණ්ඩු විවේචනය කරනවා. එය මාධ්‍ය කලාවේ හැටි. මෙම තත්ත්වය අද ඊයේ නොව ඉතිහාසයේ සිට පැවත එන්නක්.

මම වුණත් ආණ්ඩුවේ සංවර්ධන ප‍්‍රවෘත්ති රූපවාහිනියෙන් ප‍්‍රචාරය වන විට ටෙලිනාට්‍යයක් බලනවා. එනිසා අප මාධ්‍ය සම`ග ගැටුම් ඇති කරගන්නේ නැතිව මාධ්‍ය කලාව අවබෝධ කරගෙන කටයුතු කළ යුතුයි.

ජනමාධ්‍ය මගින් ආණ්ඩු ආරක්‍ෂා කරගන්න උත්සහ ගන්නේ නැතිව රටට ජනතාවට නිසි සේවයක් කරමින් ආණ්ඩු ආරක්‍ෂා කර ගැනීමට බලයේ සිටින අප කොයි කවුරුත් පියවරගත යුතුයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධානය කළ මෙම උත්සවයට ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ යන මහත්වරු ද සහභාගී වූහ

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment