ආරක්ෂක ලේකම් වැනි අයකු රාජකාරිය පැහැර හැරීම සුළු කොට තැකීමට බැහැ

193

නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසයි
පාස්කු නඩුව

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය යනු ඉතා වගකීම් සහිත රාජ්‍ය සේවයේ ඉහළම තනතුරක් බවත් ජාතික ආරක්ෂාව භාරව සිටි එවැනි තනතුරක් දැරූ අයකු සිදුකළ රාජකාරි වගකීම් පැහැර හැරීමක් කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බවත් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ඊයේ (04දා) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී පැවසීය.

සහරාන් හෂීම් ප්‍රමුඛ ස්වයං ඝාතකයන් මරාගෙන මැරෙන ප්‍රහාර කිහිපයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එකී තොරතුරු සුළුකොට තැකීම නිසා වටිනා ජීවිත සිය ගණනක් රටට අහිමිවී තවත් සිය ගණනක් සදාකාලික ආබාධිතයන් බවට පත්වූ බව ද අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා වැඩිදුරටත් පැවසීය.

පාස්කු ප්‍රහාර මාලාව වළක්වාගැනීමට නිසි පියවර නොගැනීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නිදොස්කොට නිදහස් කරමින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනා සම්බන්ධයෙන් විභාගය ඊයේ (04දා) ආරම්භ කළ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් ප්‍රියන්ත නාවාන මහතා එලෙස පැවසීය.

නීතිපතිවරයා විසින් කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ චෝදනා 894 බැගින් ගොනුකර පෙරකී විත්තිකරුවන්ට එරෙහිව පවරා තිබූ නඩු දෙකේ විත්තිකරුවන් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම නිදොස් කොට නිදහස් කිරීමට පසුගිය 2022.02.18 වැනිදා මහාධිකරණය නියෝග කොට තිබිණි.

මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ලබාදුන් එකී තීන්දු ප්‍රකාශය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර විභාගය අද (05දා) දක්වා කල් තැබිණි.

රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශනද සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ දුලාන් මිරිහාන, නිර්මාල් කොඩිතුවක්කු, ප්‍රියංක ගුණරත්න යන නීතිඥ මණ්ඩලය සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

එම අභියාචනා ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේදී පැවැත්විණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment