ආශාවරී

1196

මැදිරිගිරියේ පදිංචිකාර දැරියන් පිරිසක් විසින් පවත්වාගෙන යනු ලබන ‘ආශාවරී’ නමැති සංගීත කණ්ඩායමක් හෙවත් BAND එකක් පිළිබඳ ප්‍රශ්නයක් මේ දිනවල මතුව තිබේ. ආශාවරී යනු මේ මොහොතේදී ඉතාම ජනප්‍රිය සංගීත කණ්ඩායමකි. එහි සිටින ගැහැනු දරුවන් නවදෙනාම වයස 18 අඩු පාසල් ශිෂ්‍යාවෝ වෙති. ලංකාවේ තිබෙන වෙනත් ජනප්‍රිය සංගීත කණ්ඩායම් හා සමව යමින් ආශාවරී සංගීත කණ්ඩායම ද මේ දිනවල එළිමහන් සංගීත සංදර්ශනවල ගීත ගායනය සහ සංගීත සැපයුම කරනු ලැබේ. ඒවා සිදු කරන්නේ මුදලට ය. එනම් ගිවිසගත් ගාස්තුවකට යටත්ව ය. ආශාවරී සංගීත කණ්ඩායමේ සේවය ලබා ගන්නා අය එම මුදල ගෙවීමට බැඳී සිටිති. මේ අතර පසුගියදා ආශාවරී කණ්ඩායම වැලිවේරියේ පැවති එළිමහන් සංගීත සංදර්ශනයකට සහභාගි විය. එවිට වැලිවේරියේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ කිසියම් පුද්ගලයකු කියා සිටියේ ආශාවරී සංගීත කණ්ඩායමේ මැනේජර් හෝ වෙනත් පුද්ගලයකු විසින් ආශාවරී සාමාජික දැරියන්ගේ ශ්‍රමය සූරාකන බවය. මේ අතර පොලිසියට පැමිණිල්ලක් නොලැබුණු බවත්, පෙත්සමක් පමණක් ලැබුණු බවත් කියනු ලැබේ. ළමයකු අපහරණය කිරීම ස්වරූප කිහිපයකින් සිදුවේ. එක්කෝ එම ළමයා ලිංගික අපහරණයකට ලක්කළ හැකිය. නො එසේ නම් කායික හිංසාවකට ලක්කර අපහරණය කළ හැකිය. ඊළඟට ළමයාට බැණවැදී අපහාස කර වාචික අපහරණයක් සිදුකළ හැකිය. ළමයාගේ ශ්‍රමය සූරාකෑම ද අපහරණය කිරීමකි. උදාහරණයක් ලෙස පාකිස්තානයෙන් ලෙදර් බෝල ගැනීම ලෝකයේ කිසිම රටක් සිදු නොකරයි. එයට හේතුව පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ උපකරණ කර්මාන්තයේ ලෙදර් බෝල අංශය සම්පූර්ණයෙන්ම ළමයින් යොදා පවත්වාගෙන යෑම ය. එනම් ලෙදර් බෝලයට අවශ්‍ය කොටස් සෑදීම, ඒවා එකලස් කිරීම සහ බෝලයේ ලෙදර් කවරය බෝලයට තබා මැසීම යන සියල්ලම සිදුවන්නේ කුඩා දරුවන් අතිනි. මෙයට අවුරුදු කිහිපයකට පෙර ඒ රහස හෙළි වූ විට ජාත්‍යන්තරව හටගත් විරෝධයක් හේතුවෙන් පාකිස්තානයෙන් ලෙදර් බෝල මිලදී ගැනීම පිටරටවල් විසින් අත්හිටුවන ලදි. එවිට එම කර්මාන්තයේ නියුතුව සිටි කුඩා දරුවන් දහස් ගණනකට රැකියා නැති විය. රැකියා නැතිවීම යනු සල්ලි නැතිවීම ය. සල්ලි නැති විට කෑම නැත. ලෙදර් බෝල කර්මාන්තය නැතිවීම නිසා පකිස්තානයේ කුඩා දරුවන් විශාල ප්‍රමාණයකට විශාල ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදු වූ නමුත් එරටින් බෝල මිලදී ගැනීම අත්හිටවූ කිසිදු රටක් ඒ එක ළමයෙකුට පාන් පෙත්තක්වත් දුන්නේ නැත. මේ කතන්දර සියල්ලෙහිම දෙපැත්තක් පවතී. ආණ්ඩුව ගණිකා වෘත්තිය තහනම් කරයි. පොලිසිය ඒ තහනම අනුව යමින් ගණිකා මඩම් වටලා තරුණියන් අත්අඩංගුවට ගනිති. එවිට එම තරුණියන්ගේ ආදායම සම්පූර්ණයෙන්ම නැවතෙන අතර ඒ අයගේ පවුල්වලට හාමතේ ඉන්නට සිදුවේ. එසේ කියා පොලිසිය හෝ ආණ්ඩුව නිරාහාර ගණිකාවන්ට කෑම සප්ලයි කරන්නේ ද නැත. අප නැවතත් මතක් කරන්නේ මේ හැම කාරණයකම දෙපැත්තක් ඇති බවය.

වයස 18 ට අඩු දරුවන්ගෙන් මුදලට වැඩ ගැනීම තහනම් ය. එම තහනම නිසා කුඩා දරුවකු වැඩක් කළ විට ඒ දරුවාට මෙපමණ මුදල් ගෙවිය යුතු යැයි කම්කරු දෙපාර්තමේන්තුවෙන් හෝ පඩි පාලක සභාවෙන් සීමාවක් යොදා නැත. මේ නිසා නීතිය පැත්තෙන් බලන විට ආශාවරී ගෲප් එක පවත්වාගෙන යෑම තහනම් ය. කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ කියන පරිදි ආශාවරී සංගීත කණ්ඩායම යනු කුඩා දරුවන් කිහිපදෙනෙකුගේ සංගීත දක්‍ෂතාවල ප්‍රතිඵලයකි. එබැවින් එම ගෲප් එකට විරුද්ධව නීතියම පියවර ගැනීම වරදකි. ඒ කතාවේ ද ඇත්තක් තිබේ. එසේම වයස 18 ට අඩු ළමයින් සේවයේ යෙදවීමෙන් මුදල් ඉපයීම වරදකිය යන මතයෙහිද නෛතික වලංගුභාවයක් තිබේ. මේ දෙක තුනම සැලකිල්ලට ගන්නට ගියොත් කුඩා දරුවෙකුට කිසිම වැඩක් කිරීමට හැකිවන්නේ නැත. ඒ අනුව චිත්‍ර ශිල්පයෙහි දක්‍ෂ කුඩා දරුවකුගේ චිත්‍රයක් විකිණීම හෝ මිලට ගැනීම තහනම් දෙයකි. එසේම කිසියම් නව නිර්මාණයක් කර එය විකිණීම තහනම් වනු ඇත. හැබැයි ආශාවරී ගෲප් එකේ සිංදු කියන ළමයින්ට වඩා “සීරියස් කේස්” මේ රටේ තිබේ. උදාහරණයක් වශයෙන් දෙදහස් විස්ස අවුරුද්දේ සංඛ්‍යාලේඛන කිහිපයක් ඔබට කියමු. එම අවුරුද්දේ ජනවාරි මාසයේ මුල් දවස් 15 තුළ මේ රටේ දූ දරුවන් 140 දෙනෙක් දූෂණය කරන ලදී. තවත් ළමයින් හතළිස් දෙදෙනෙක් ඉතා බරපතළ ලිංගික අපහරණයන්ට ලක් කරන ලදි. ඒ අතර දරුවන් 54 දෙනෙක් ලිංගික නොවන වෙනත් අපහරණයන්ට ලක් කරන ලදි. 2020 දෙසැම්බර් මාසය වන විට ළමයින් අපහරණය කිරීම් 5242 ක් මේ රටේ සිදුවී තිබිණ. ඊට අවුරුදු තුනකට කලින් වසර 2017 දී මේ රටේ සිදු කරන ලද ළමා අපහරණ ප්‍රමාණය 17,000 කි. 2018 දී මේ අපහරණ ප්‍රමාණය විසිදහසකට නැග්ගේ ය. මේ සියල්ලම ආශාවරී ගෲප් එකේ දැරියන් මුදලට සින්දු කීමට වඩා දරුණු සහ භයානක සිදුවීම් ය.

අද ඉතා වැදගත් පොහොයක් යෙදී තිබේ. මතු බුදුවන මෛත්‍රී බුදුන් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේව සිටි අවදියේදී ගෞතම බුදුන් වහන්සේ වෙතින් නියත විවරණ ලබන්නේ අද වැනි ඉල් පොහෝ දිනකදී ය. එසේම ගෞතම බුද්ධ ශාසනයේ ධර්ම ප්‍රචාරක කටයුතු පටන් ගන්නේ ද අද වැනි ඉල් පොහෝ දිනකදී ය. එවැනි උතුම් දවසක මේ රටේ දූ දරුවන් මුහුණ දී සිටින කාලකණ්ණි තත්ත්වය ගැන කතා කරන්නට සිදුවීම රටක් හා ජාතියක් වශයෙන් අප විසින් කරන ලද පෙර කරුමයක් පලදීමක් විය යුතුය. හැබැයි මේවා කතා නොකර සිටියහොත් එය හෙණගහන අපරාධයක් වන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment