ඇඟලුම් කම්හල්වලින් 30%ක් ලංකාවෙන් ගලවාගෙන යන ලකුණු! – නිදහස් වෙළෙඳ කලාප සේවක මධ්‍යස්ථානයේ කැඳවුම්කරු

155

එල්ලවී ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය නිසා මෙරට ඇඟලුම් කම්හල්වලින් සියයට 30ක් පමණ කෙන්යාව, ඉතියෝපියාව, ටැන්සානියාව වැනි රටවලට රැගෙන යෑමට ඒවායේ හිමිකරුවන් තීරණය කර ඇතැයි නිදහස් වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක මහතා ඊයේ (06 දා) පැවසීය.

මෙම ඇඟලුම් කර්මාන්තශාලා ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගෙන යෑමට මෙරට දේශපාලන අස්තිරභාවය, ඉන්ධන අර්බුදය සහ විදුලි කප්පාදුව වැනි කරුණු මූලික වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

බ්‍රැන්ඩෙක්ස්, සිම් ලයින්, මාස් හෝල්ඩින්, හයිඩ්‍රාමනි යන ආයතන හතර ශ්‍රී ලංකාව තුළ ඇඟලුම් ක්‍ෂේත්‍රයේ සියයට 70ක දායකත්වයක් දරන බවත් වෙළෙඳ කලාප 14 තුළ සේවක සේවිකාවන් 1,48,000ක් සේවයේ නිරත වන බවත් ඔහු කීය. පවතින අර්බුදය හමුවේ වක්‍රව ඇඟලුම් ක්‍ෂේත්‍රයේ නිරතව සිටි ලක්‍ෂ 07ක පමණ පිරිසකට මේ වනවිටත් රැකියා අහිමි වී ඇතැයි ද කී ඒ මහතා ඇඟලුම් කම්හල්වලින් සියයට 30ක් රටට අහිමි වුවහොත් ඒවායේ රැකියා කළ තවත් 50,000කට පමණ රැකියා අහිමි වන බවද කීවේය. විදෙස් රටවලින් ද සැලකිය යුතු සහනයක් නොලැබෙන වාතාවරණයක් රටේ පවතින නිසා තවදුරටත් රටේ ජනතාවට සහන ලබාදීමට වත්මන් රජයට නොහැකි නම් නව රජයක් පත්කර ගැනීමේ අවස්ථාව ජනතාවට දියයුතු බවද රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment