ඇමරිකානු කළු සල්ලි ජාවාරම්කරුවාගේ යාපනය සංචාරය

776

රාජ් රාජරත්නම් නිසා ඝාතනය වූ 30කගේ ඥාතීන් පැවරූ නඩුව ඇමරිකාවේදී අතරමග නවතී

කොටි සංවිධානයට ආයුධ මිලයට ගැනීම සඳහා ඩොලර් මිලියන පහක් සැපයූ මිස්ටර් බී නමැත්තකු ගැන ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසියට තොරතුරු ලැබීමෙන් පසු සිදුකළ විමර්ශනයේදී එම මිස්ටර් ‘බී’ රාජ් රාජරත්නම් බව හෙළිවිය.

මූල්‍ය විශුද්ධිකරණ හෙජින් වංචාවේ මහා මොළකරු රාජ් රාජරත්නම්ට 2011 දී ඇමරිකානු අධිකරණය වසර 11ක සිර දඬුවමක් ලබාදුන්නේය.

මිස්ටර් බීගේ අබිරහස් තොරතුරු හෙළිවීමත් සමගම ඔහුට එරෙහිව කොටි බෝම්බවලින් මියගිය ශ්‍රී ලාංකිකයන් 30කගේ මව්පියන් ඇමරිකානු නීතිවේදී මයිකල් එල්ස්නර්ගේ සහයෙන් ඇමරිකානු අධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරුණි. එම නඩුව වසර ගණනාවක් තිස්සේ ඇදෙමින් තිබේ. මේ අතර මේ කොටි ආධාරකරුවා ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්තවී යාපනයට ගියේය.

යාපනයේ ශික්‍ෂණ රෝහලට ගිය රාජ් රාජරත්නම් රෝහලේ සේවා කටයුතු නංවාලීම ගැන සාකච්ඡා කරනු ලැබීය. රාජ් රාජරත්නම්ට ශ්‍රී ලංකාවේ රජය මෙරටට ඒමට වීසා බලපත්‍රයක් ද ලබාදුන්නේය.

ඊට මුලපිරුවේ කවුද?

ඇමරිකානු මාධ්‍ය පැවසුවේ කොටි සංවිධානය ජය ලබනු ඇතැයි රාජරත්නම් බලාපොරොත්තු වූ බවයි. මේ පසුබිම මැද කොටුව දුම්රිය ස්ථානයේදී කොටි බෝම්බයකට ගොදුරු වූ කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ සිසුවකු ඇතුළු සිසුන්ගේ මව්පියන්ට එල්ල වූයේ අතුල් පහරකි. කොටින්ට අරමුදල් සැපයූ රාජ් රාජරත්නම් නමැති අපරාධකරුවාට මෙරටට ඒමට ඉඩදීම අනුමත කළ හැකිද?

ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය රාජ් රාජරත්නම්ට නඩු පැවරුවත් ශ්‍රී ලංකා පොලිසිය නඩු පැවරුවේ නැත. ශ්‍රී ලංකා මහ බැංකුව පවා රාජ් රාජරත්නම් ගැන විමර්ශන පවත්වනු ලැබීය. රාජ්රාජරත්නම් කොටින්ට අරමුදල් සැපයීම ගැන ඔහුට එරෙහි නඩු ගොනුකිරීමේ වාර්තාව කෙටුම්පත් කළේ රහස් පොලිසියේ හිටපු පරීක්‍ෂක ලයනල් මුණසිංහයි. වැලිවේරියේදී මැරතන් කරු ඝාතනය, නුගේගොඩදී නෝලිමිට් බෝම්බ ප්‍රහාරය ඇතුළු බෝම්බ ප්‍රහාරවලින් ඝාතනය වූවන්ගේ ඥාතීහු යුක්තිය ඉටුකර ගැනීමට ගොනුකළ නඩුව තවමත් ඇමරිකානු අධිකරණය හමුවේ තිබෙන අවස්ථාවක ඔහුට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩදීම ඝාතනයට ලක්වූවන්ට සිදුකළ අවමානයකි. මෙයට වසර ගණනකට පෙර මෙරට ආර්ථිකය නැංවීමට යැයි පවසා ශ්‍රී ලංකාවට කැඳවූ රාජ්රාජරත්නම් වසර 11ක සිරදඬුවම ගෙවී යෑමටත් පෙර සිරෙන් නිදහස් විය.

ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය තවදුරටත් සිදුකළ විමර්ශනවලදී හෙළි වූයේ ඇමරිකාවේ කොටි ඒජන්ත කරුණාකරන් කන්දසාමි කොටි නිදහස් අරගලය උදෙසා සහය වන ලෙස ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා සිටින ලිපියක් හමුවීමෙන් රාජ් රාජරත්නම් ගැන තොරතුරු අනාවරණය වීමයි. කොටි සංවිධානයට අරමුදල් එකතු කිරීමට පිහිටුවා තිබූ ටී. ආර්. ඕ. සංවිධානය හරහා රාජ්රාජරත්නම් කොටින්ට අරමුදල් සපයනු ලැබීය. රාජ් රාජරත්නම්ගේ මෙම කොටි සබඳතා ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත හෙළිකර තිබුණේ රාජ් සහ ඔහුගේ කොටි සබඳතා මැයෙනි.

එහෙත් අද සිදුවී ඇත්තේ කුමක්ද? ප්‍රභාකරන්ට උදව් කළවුන් ශ්‍රී ලංකාවේ වීසා ලබා මෙරටට පැමිණීමයි. එහෙත් කිසිදු දේශපාලකයෙක් ඊට එරෙහිවී නැත. රාජ් රාජරත්නම් නිසා ඝාතනය වූවන්ගේ මව්පියන්ගේ වේදනාව වැඩිවූවා මිස නිසි යුක්තිය ඉටුවූයේද?

හෙජින් අරමුදල ගැන රාජ් සිරයට නියම වුවත් එෆ්බීඅයි පොලිසිය සහ ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව රාජ්ට එරෙහිව කොටින්ට අරමුදල් සැපයීම ගැන නඩු ගොනු කළේ නැත. ඇමරිකානු නීතිරීති අනුව විදේශ ත්‍රස්ත සංවිධානවලට අරමුදල් සැපයීම තහනම්ය. මේ තත්ත්වය මත ඇමරිකානු නීතිවේදී මයිකල් එල්ස්නර්ගෙන් රාජ්ට එරෙහි නඩුව ගැන විමසුවෙමු.

රාජ් රාජරත්නම් අපේ නඩුවේ ප්‍රධාන චූදිතයායි. ඇමරිකානු අධිකරණ බලධාරීන් එම නඩුව ගැන මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැහැ යැයි ඔහු පළ කළේය.

ඇමරිකානු භාණ්ඩාගාරය ද ඔහුගේ වත්කම් තහනම් කර තිබූ බව හෙළිවිය. නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රය තවදුරටත් පැවසුවේ රාජ් රාජරත්නම් කොටින්ට අවි ආයුධ ලබාගැනීම සඳහා අරමුදල් සැපයීම ගැන තොරතුරු ලැබී ඇති බවයි. එහෙත් 2022 අවසන්වීමට පෙර රාජ් රාජරත්නම් ශ්‍රී ලකාවට පැමිණියේය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment