යටින් දුවන්නේ සදාචාර අර්බුදයක් නෙවෙයිද?

162

අපි හැමෝම කතා කරන්නේ ආර්ථික අර්බුදයක් ගැන. හැබැයි හොඳට බැලුවොත් යටින් දුවන්නේ සමාජ ආකල්ප අර්බුදයක් නෙවෙයිද? අපි (අපි කිව්වට අපිම නෙමෙයි) අල්ලස් ගන්නවා, අපි අල්ලස් දෙනවා. ඊට පස්සේ කියනවා අපි ඔයාට උදව් කළා කියලා. අපි රැකියා සඳහා මිනිසුන් බඳවා ගන්නේ ඔවුන්ව දන්නා නිසා මිස ඔවුන් ඊට වඩාත්ම සුදුසු නිසා නොවේ. විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාලයට එන්නේ ඉගෙන ගන්න නෙවෙයි සහතිකයක් ගන්න. අපි දැනුම හොයන ජාතියක් නෙවෙයි. අපි සහතික පතන ජාතියක්. සමාජය අසාර්ථක වූ පසු, අපි සියල්ලෝම අසාර්ථක වෙන බව දැන දැනත්, සමාජයේ යහපැවැත්ම ගැන තැකීමක් නෑ. අපි හිතන්නේ අපි ගැනම පමණයි.

අපේ සමාජයේ විශ්වාසනීයත්වය නැති කළේ අපිමයි. දැන් එහි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න අපටම සිදුවෙලා. දැන් අපි මොකද කරන්නේ? අපි මේ සමාජයෙන් අයින් වෙලා වෙන කාගෙ හරි සමාජයක හැංගෙන්න හදනවා. සමාජය කඩාවැටුනොත් හැමෝම ඒ සමඟම කඩා වැටෙන බව ඔවුන් දැන සිටි නිසා එහි මිනිසුන් තම සමාජය රැකගත්තා. අපි අපේ සමාජය විනාශ කරලා දැන් ඔවුන්ගේ සමාජ තුළ හැංගෙන්න හදනවා.

ඔබ විශ්වාසනීයත්වය වැනි සමාජ වටිනාකම් විනාශ කරන විට එය රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයට ද බලපාන බව අමතක නොකළ යුතුයි. ලෝකයේ රටවල් අතර ඒක පුද්ගල ආදායම් බෙදී යෑමේ විශාල විෂමතා පවතින බව අප කවුරුත් දන්නවා. නමුත් හැබෑවටම සමහර රටවල් පොහොසත් වීමටත් තවත් සමහර රටවල් දුප්පත් වීමටත් මූලිකවම හේතු වන සමාජ ආකල්ප ගැන පොදු එකඟතාවක් නැතත් දැන් දැන් ඒ ගැන යම් අවබෝධයක් ගොඩනැගෙමිනුයි පවතින්නේ. සරලව බැලූවද, සෑම වාණිජ ගනුදෙනුවක් තුළම විශ්වාසය මත පදනම් වූ කොටසක් ද ඇති බවට විවාදයක් පැවතිය නොහැකියි. මේනයින් බලන කල ලෝකයේ බොහෝ ආර්ථික පසුගාමීත්වයන්ට හේතුව සමාඡය තුළ අන්‍යෝන්‍ය විශ්වාසය බිඳගැනීම නොවන්නේද?

වෙළෙඳපළ ආර්ථිකයක් තුළ රටක ආර්ථික සංවර්ධනය සඳහා පූර්ව අවශ්‍යතාවක් වන්නේ කුඩා සංවෘත කණ්ඩායම් වල අන්තර්ක්‍රියා මතම පමණක් නොයැපී නුහුරු නුපුරුදු වඩා විශාල කණ්ඩායම් සමග ගනුදෙනු කිරීමට ඇති හැකියාවයි. විශ්වාසය සහ විශ්වසනීයත්වය මෙහි මූල් පදනම නොවන්නේද? විශ්වාසය හීන පරිසරයක් තුළ, ව්‍යාපාර කිරීමේ පිරිවැය ඉහළයි. එවැනි පරිසරයන් යටතේ, කොන්ත්‍රාත්තු සඳහා අවශ්‍ය ලිපි ලේඛන සූදානම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, කම්කරුවන් සහ උප කොන්ත්‍රාත්කරුවන් නිරීක්ෂණය කිරීම සහ ආරක්ෂක ප්‍රොටෝකෝල ක්‍රියාත්මක කිරීම සඳහා වැඩිපුර මුදල් වැය වේ. සමහර සමාජ ආර්ථික විද්‍යාඥයන් දකින ආකාරයට තුන්වන ලෝකය එකතැන පල්වීමට සහ එහි ඌන සංවර්ධනයට බලපා ඇති එක් ප්‍රධාන හේතුවක් වන්නේ සමාජ විශ්වාසනීයත්වය බිඳ ගැනීම නිසා අඩු වියදමකින් කොන්ත්‍රාත්තු බලාත්මක කිරීමට ඇති නොහැකියාවයි.

කොවිඩ් වසංගතය අපට නිවසේ සිට වැඩ කිරීමට මාරු වීමට බල කළා. එවැනි අවස්ථාවන්හිදී, සේවකයා අවම අධීක්ෂණය යටතේයි වැඩ කළයුත්තේ. මෙවැනි තත්ත්ව යටතේ ඵලදායී ලෙස ආයතන ක්‍රියාත්මක වීමට සේවක-සේවායෝජක විශ්වාසය අත්‍යවශ්‍ය වේ. විශ්වාසය ඉහළ සමාජයක අධීක්ෂණය අවම වන අතර ඒ සඳහා දැරිය යුතු වියදමද අවම වේ. විශ්වාසය කඩ වූ සමාජයකට මෙවැනි නව තත්ත්වයන්ට සාර්ථකව අනුගත විය හැකිද? අන්‍යෝන්‍ය විශ්වාසය ඉහළ නම්, සේවකයන් හානිදායක වැඩ වර්ජන හා සාමූහික කේවල් කිරීමේ ක්‍රියාවන්ට පැටලීමෙන්ද වළක්වා ගත හැකිය. එය වඩාත් ඵලදායී සමාජයක් සඳහා පදනමක් සදා නොදේද?

සමාජයක ආර්ථික සමෘද්ධිය සඳහා එහි විශ්වසනීයත්වයේ වැදගත්කම පිළිබඳ තවත් වඩාත් ජනප්‍රියයි උදාහරණයක් වන්නේ බැංකු පද්ධතියයි. බැංකු කෙරෙහි විශ්වාසය නැති වූ විට, ආපදා අවස්ථාවලදී මුදල් ආපසු ගැනීම වේගවත් වේ. මෙමගින් අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා යෙදවීමට තිබූ ප්‍රාග්ධනය හිඟ වේ. එය ආර්ථික සංවර්ධනය විනාශ කරයි. මානව ප්‍රාග්ධන සංවර්ධන තීරණ ගැනීමේදී හාම්පුතුන් සහ සේවකයන් අතර විශ්වාසය වැදගත් වේ. තම සේවා යෝජකයන් විශ්වාස කරන සේවකයන් වෙනත් තැනක රැකියා අවස්ථා සෙවීමට ඇති ඉඩකඩ අඩු වන අතර සේවකයන් තම සේවා යෝජකයන් විශ්වාස කරන්නේ නම් ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කරගැනීමට වැඩි වෙහෙසක් දරයි. එපමණක් නොව සේවකයන් එකිනෙකා අතර අන්‍යොන්‍ය විශ්වාස ඇති විට, කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීම ප්‍රවර්ධනය වේ. අවසාන වශයෙන්, මෙය සමාගම් හා කර්මාන්ත ශාලාවල ඵලදායිතාව ඉහළ දමයි.

විශ්වසනීයත්වය අඩු කම සමහර ආයෝජන තීරණ ඉතා අවදානම් සහගත තත්ත්වයකට පත් කරයි. මෙය ප්‍රශස්ත මට්ටමේ ආයෝජන ප්‍රතිපාදනවලට මග අහුරයි. විශේෂයෙන්ම දිගුකාලීන ප්‍රතිසාධන සහිත ආයෝජන මේනිසා අධෛර්යමත් වේ. පර්යේෂණ සහ සංවර්ධන ආයෝජන වඩාත් අධෛර්යමත් වේ.

ලංකේය ව්‍යාපාරික සංස්කෘතිය තුළ පුද්ගලික සබඳතා වලට විශාල බරක් තබා ඇත්තේ ද ශ්‍රී ලාංකිකයන් තමන් දන්නා සහ විශ්වාස කරන අය සමඟ වැඩ කිරීමට දැඩි කැමැත්තක් දක්වන්නේද, තුන්වන පාර්ශ්ව හඳුන්වා දීම නිතරම අපේක්ෂා කරන්නේද අප විශ්වාසනීයත්වය බිඳගත් ඡාතියක් නිසාද? බටහිර සමාජවල ඉහළ විශ්වාසනීයත්වය ගැන ඉහළින් කතා කරන අපි ඇයි අපේ රටේ ඒකම හදන්න උත්සාහ නොකරන්නේ? විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුද? මේවාට වගකිව යුතු පාර්ශ්වය අපම නොවේද? විසඳුම අප විනාශ කළ සමාජය අතහැර වෙනත් අය උත්සාහයෙන් ගොඩනැගූ සමාජයක් තුළ සැඟවී සිටීමද?

සමාජ වටිනාකම් ජාතියක මූලික පදනම යි. සමාජ සාරධර්ම ඒ සමාජය පිළිගන්නා දේ නිර්වචනය කරන අතර ඒ මත එකී සමාජ තුළ මිනිසුන්ගේ හැසිරීම තීරණය කරයි. කෙසේ වෙතත් සමාජ වටිනාකම් ස්ථිතික නොවන අතර කාලයත් සමඟ ඔවුන් වැළඳ ගන්නා විශ්වාසයන් සහ ආකල්ප මත පදනම්ව වෙනස් විය හැකිය. සත්‍යවාදී බව, අවංකකම සහ මෛත්‍රිය වැනි ඇතැම් සමාජ වටිනාකම් විශ්වීය වන අතර මේවා යහපත් සමාජයක පැවතිය යුතුම වටිනාකම් වේ. අද අපි අපේ සමාජය දිහා බැලුවොත් අඩුතරමින් මේ මූලික සාරධර්මවත් රැකගන්න හා වර්ධනය කරන්නට ප්‍රමාණවත් උත්සාහයක් දරා තිබේද? ලැජ්ජාවක් නැතිව අපි සමාජයේ විශ්වාසවන්තභාවය විනාශ කර දැම්මෙමු. දැන් අපේම ක්‍රියාවන්ට වන්දි ගෙවීමට සිදු වූ විට අපි අපේම සමාජයෙන් පලා යන්නෙමු.

ආචාර්ය ශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment