ඇමරිකාවේ තහනම නීති විරෝධියි: මානව හිමිකම් කඩකිරීමක් – කරන්නාගොඩ ජුලී චන්ග්ට ලියයි

178

තමාට හා තම බිරිඳට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටෝනි ජේ. බිලින්කන් නිකුත් කර ඇති නිවේදනය මුළුමනින්ම නීති විරෝධී සහ තම මූලික අයිතීන් දැඩිව උල්ලංඝනය කළ ලියවිල්ලක් බව පෙන්වා දෙමින් හිටපු නාවික හමුදාපති වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ විසින් මෙරට ඇමරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය වෙත ලිපියක් යොමු කර තිබේ.

වසන්ත කරන්නාගොඩ මහතා විසින් අදාළ ලිපිය පෙරේදා (01 වැනිදා) කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත යවා ඇත.

ඇමරිකානු නීතියට අනුව යම් පුද්ගලයකුට එරෙහිව චෝදනා එල්ල කරන්නේ නම් ඔහුට ඒ බව දැනුම් දී ඒ සඳහා කරුණු විමසීමක් කළ යුතු වුව ද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී එලෙස නීත්‍යානුකූලව ක්‍රියා කර නොමැති බව ද කරන්නාගොඩ මහතා සිය ලිපිය මගින් දන්වා තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එසේ නීත්‍යානුකූල නොවන අයුරින් නිවේදනයකට නීත්‍යානුකූල තත්ත්වයක් ලබාදීම සඳහා ඇමරිකානු ව්‍යවස්ථාවේ වගන්ති දෙකක් ඇතුළත් කර එය මෙරට මාධ්‍ය වෙත නිකුත් කිරීමෙන් ඇමරිකාව සිදු කර ඇත්තේ බරපතළ අයුරින් ශ්‍රී ලංකාවේ ජනතාව නොමඟ යැවීමක් බව ද කරන්නාගොඩ මහතා පෙන්වා දෙයි.

එලෙස ක්‍රියා කිරීමෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිදු කර ඇත්තේ ඇමරිකානු ව්‍යවස්ථාව අවභාවිත කිරීමක් යැයි ද ඇමරිකානු තානාපතිනියට දැනුම් දී ඇති කරන්නාගොඩ මහතා තවදුරටත් සඳහන් කර ඇත්තේ එසේ ක්‍රියා කිරීමෙන් තම ගෞරවයට හා කීර්තියට බරපතළ ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවකි.

මානව හිමිකම් චෝදනාවක් එල්ල කරමින් මේ ආකාරයට කටයුතු කිරීම ඇමරිකාව ද අනුමත කර තිබෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 17 වැනි වගන්තිය දැඩිව උල්ලංඝනය කිරීමක් බව වසන්ත කරන්නාගොඩ මහතා ඇමරිකානු තානාපතිනියට වැඩිදුරටත් පෙන්වා දී ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment