ඉන්දීය බිත්තර කුණු වූ ප්‍රචාරය දේශීය බිත්තර මිල නැංවීමේ උපායක් – රාජ්‍ය වාණිජ සංස්ථා සභාපති

165

දැනටමත් රු. 2 – 3 කින් වැඩි කරලා – බිත්තර වෙළෙඳුන්ගේ සංගමය
තොග මිල ඉහළ දමා නැහැ – බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය

ඉන්දියාවෙන් කොළඹ වරායට ගෙන් වූ කන්ටේනර් 02 ක බිත්තර කුණු වී ඇති බවට ප්‍රචාරයක් ගෙනියන්නේ දේශීය බිත්තරයක මිල ඉහළ දැමීමට බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ඊයේ (18දා) පැවසීය. ඊයේ සිට මෙරට බිත්තරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා ඇතැයි ද ඔහු කීය.

වරායට ගෙන් වූ බිත්තර සියල්ලම මේ වනවිට රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට අයත් ශීතාගාරවල ගබඩාකර අලෙවි කරන බවත් මේ සතිය ඇතුළත තවත් බිත්තර ලක්‍ෂ 50 ක් මෙරටට ලැබීමට නියමිතව ඇති බවත් සභාපතිවරයා පැවසීය.

දැනට බිත්තර ලක්‍ෂ 50 ක් පමණ ගබඩාවල තිබෙන බවත්, දිනකට බිත්තර ලක්‍ෂ 10 බැගින් අලෙවි කරන බවත් පැවසූ ඒ මහතා ආනයනික බිත්තරයක් අධිශීතාගාරවල දින 90 ක්ද, සාමාන්‍ය ශීතකරණ තුළ මාසයක් සහ ශීතකරණයෙන් තොරව දින තුනක් පමණ තබාගත හැකි බවත් වැඩිදුරටත් පැවසීය. සතොස මගින් බිත්තරයක් රුපියල් 35 කටත්, සුපිරි වෙළෙඳසල් මගින් රුපියල් 40 කටත් අලෙවි කෙරේ. ඇසුරුමක බිත්තර 10 බැගින් අඩංගුව ඇත.

මේ අතර කිසිදු පෙර දැනුම්දීමකින් තොරව ඊයේ සිට මෙරට බිත්තරයක තොග මිල, නිෂ්පාදකයන් විසින් රුපියල් දෙක තුනකින් ඉහළ දමා ඇතැයි බිත්තර වෙළෙන්දන්ගේ සංගමයේ සභාපති අනුර මාරසිංහ මහතා ඊයේ පැවසීය.

දැනටමත් බිත්තර නිෂ්පාදකයන් රුපියටල් 20 ක පමණ ලාභයක් ලබන අතර හිතෙන හිතෙන දවසට බිත්තර මිල වැඩිකිරීම මාෆියාවක් බවත් පැවසූ ඒ මහතා මෙය මර්දනය කිරීමට රජය යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව කියා සිටියේය. වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා බිත්තර ආනයනය කිරීමට අවසර ලබා නොදුන්නා නම් මේ වනවිට දේශීය බිත්තරයක මිල රුපියල් 80ද ඉක්මවා යෑමට ඉඩ තිබූ බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එහෙත් බිත්තරයක තොග මිල ඉහළ දැමීමක් සිදු නොකළ බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ‘දිවයින’ ට පැවසීය.

සතියේ සෑම සඳුදාවකම තමා විසින් බිත්තරයක මිල සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කරමින් කෙටි පණිවුඩයක් යවන බවත්, තවමත් බිත්තර නිෂ්පාදකයන් බිත්තරයක් අලෙවි කරන්නේ රුපියල් 40, 41 වැනි මිලකට බවත් ඔහු කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment