ඉන්දීය වික්‍රම් යානය දෙවැනි වරටත් සඳට ගොඩබසී

876

ඉකුත් අගෝස්තු මස 23දා සාර්ථක ලෙස සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැස්වූ ඉන්දීය ‘චන්ද්‍රයාන් – 3’ අභ්‍යවකාශ යානයට අයත් ‘වික්‍රම්’ නමැති ගොඩබැස්වුම් යානය නැවත වරක් ගුවනට නංවා දෙවැනි වරටත් සඳ මතට සාර්ථක ලෙස

ගොඩබැස්වූ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි. මේ අනුව ‘වික්‍රම්’ ගොඩබැස්වුම් යානය කලින් රැඳී සිටි ස්ථානයේ සිට නැවත එන්ජිම පණගන්වා සෙන්ටිමීටර් 40ක් පමණ උසකින් ගුවනට නැංවූ බවත් අනතුරුව එම ස්ථානයට සෙන්ටිමීටර් 30-40 අතර දුරකින් පිහිටි ස්ථානයකට සාර්ථක ලෙස ගොඩබැස්වූ බව මධ්‍යස්ථානය පවසයි.

මෙම පියවර පිළිබඳව කලින් ‘ට්විටර්’ යනුවෙන් හැඳින්වූ ‘එක්ස්’ නමැති සමාජ මාධ්‍ය ජාලයෙහි සටහනක් තබා ඇති ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය චන්ද්‍රයාන් – 3 මෙහෙයුම යටතේ වික්‍රම් ගොඩබැස්වුම් යානය දෙවැනි වරටත් සඳ මතුපිටට මෘදු ලෙස ගොඩබැස්වූ බව සඳහන් කර තිබේ. මෙසේ වික්‍රම් යානය ගුවනට නැග නැවත පොළවට ගොඩබස්වන අයුරු එම යානයේ කැමරාව මගින් ජායාරූප ගත කර ඇති අතර එම ජායාරූප ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය මගින් ප්‍රසිද්ධ කර තිබේ. වික්‍රම් ගොඩබැස්වුම් යානයේ සියලු පද්ධතීන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් එයට අයත් උපකරණද සෞඛ්‍ය සම්පන්න අයුරින් ක්‍රියාත්මක වන බව අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසයි. මේ අතර එම මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන එස් සෝම්නාත් පවසා ඇත්තේ වික්‍රම් ගොඩබැස්වුම් යානය විසින් සඳෙහි දක්ෂිණ ධ්‍රැවය අධ්‍යයනය කිරීම සඳහා සඳ මතට මුදා හැර තිබු ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය සිය අධ්‍යයනයන් සියල්ල නිම කර ඇති අතර එය නිද්‍රාශීලී තත්ත්වයට පත් කර සඳ මත නවතා තිබෙන බවයි. එම රෝවර් යානය නිමවා ඇත්තේ සති දෙකක කාලයක් අධ්‍යයන කටයුතු සිදු කළ හැකි ආකාරයටය. සූර්ය කෝෂ මගින් ක්‍රියාත්මක වන රෝවර් යානයෙහි බැටරි සම්පූර්ණයෙන් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවත් එයට

සූර්යයාගෙන් ආලෝකය ලැබීමට නියමිතව ඇත්තේ මීළඟට සඳ තුළ හිරු නැගෙන දිනය සේ සැලකෙන සැප්තැමබර් 22 වැනිදා බව සෝම්නාත් සඳහන් කර තිබේ. හිරු එළිය ලැබීමෙන් පසු නැවත රෝවර් යානය පණගන්වා තවත් අධ්‍යයනයන් ඇරඹීමට කටයුතු කරන බවත් ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය ඉන්දියාව වෙනුවෙන් සඳෙහි සිටින තානාපතිවරයා ලෙස සදාකාලිකව තැබීමට තීරණය කර ඇති බව ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථාන ප්‍රධානියා පවසා තිබේ. වික්‍රම් යානය මගින් මුදා හැරීමෙන් පසු රෝවර් යානය මීටර් 100කට අධික දුරක් ගමන් කරමින් අධ්‍යයන කටයුතුවල නිරතව ඇත.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment