ඉම්රාන් ඛාන් අසීම් මුනීර් බල අරගලය

733

ෆයිස් හමීඩ් ඉම්රාන්ගේ හිතවතා විය. ලුතිනන් ජෙනරාල් හමීඩ් ඔහුගේ හමුදාපති අපේක්ෂාවන් ගැන කෙතරම් විශ්වාසයෙන් සිටියාද යත්, ඔහු අසල්වැසි ඇෆ්ගනිස්තානයේ නිලධාරීන්ට පවසා තිබුණේ හමුදාව භාරව සිටින මීළඟ පුද්ගලයා තමා බව ය. ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරු බලය අල්ලා ගැනීම පිටුපස විශේෂ කාර්යභාරයක් සිදුකෙළේ ජෙනරාල් හමීඩ් වේ.

පසුගිය ඉරිදා දින ලාහෝර් නුවර පැවති රැලියක් ඇමතූ හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළ කරුණු කිහිපයක් නිසා එරට බලවත් හමුදාව කලබලයට පත්විය. සිය වෙඩි නොවදින වාහනයේ සිට රැස්ව සිටි පිරිස ඇමතූ ඉම්රාන් පවසා සිටියේ පාකිස්තාන හමුදාවේ බුද්ධි අංශයේ සේවය කරන මේජර් ජෙනරාල් ෆයිසාල් නසීර් දෙවරක් තමා ඝාතනය කිරීමට උත්සාහ ගත් බවත් එසේම ප්‍රකට මාධ්‍යවේදී අර්ශාඩ් ෂරිෆ් ඝාතනය කරනු ලැබුවේ ද මේ ජෙනරාල්වරයාගේ උපදෙස් මත බවත්ය. පශ්තුන් ගෝත්‍රික හිටපු අගමැතිවරයාගේ ප්‍රකාශය හමුදාවේ ඇස් රතුකරවන්නක් විය. එනිසාම රාවල්පින්ඩි හමුදා මූලස්ථානය සැර නිවේදනයක් නිකුත් කරමින් ඉම්රාන්ගේ ප්‍රකාශය හෙළා දුටුවේය.

හමුදාවේ නිවේදනය නිකුත් කළ දිනට පසුදින එනම් පසුගිය අඟහරුවාදා (මැයි 09) ඉස්ලාමාබාද් අගනුවර පිහිටි මහාධිකරණය ඉදිරිපිටදී ඉම්රාන් අත්අඩංගුවට පත්විය. රූපවාහිනි දර්ශනවලින් දැක්වුණේ, අතුරු හමුදා සාමාජිකයන් සිය ගණනක් ඉම්රාන් ඛාන් අධිකරණ සංකීර්ණ පරිශ්‍රය තුළදී ඔහු අත්අඩංගුවට ගන්නා අයුරුයි. මෙය නාටකයක් හා සමාන විය. ඉම්රාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රට පුරා පැතිර ගිය ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනකු මිය ගිය අතර පුද්ගලයන් 2,000 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය වසරේ මැයි 09 වැනිදා ශ්‍රී ලංකාවට අඳුරු දිනයක් විය. මහමග මන්ත්‍රීවරයකු ඝාතනය වූ අතර තවත් නිවාස හා දේපළ සිය ගණනක් ගිනිබත් කෙරිණි. එසේම මේ 09 වැනිදා පාකිස්තාන ඉතිහාසයේ පළමු වරට එරට ජනතාව හමුදාවට එරෙහිව පාරට බැස විරෝධතා දක්වන්නට වූවා පමණක් නොව හමුදා කඳවුරුවලටද පහර දෙන්නට විය. පාකිස්තානයේ හමුදා කුමන්ත්‍රණ තුනකින් එරට බලය අල්ලා ගැනීමට ජෙනරාල්වරු සමත් වුවත් ඒ කිසිම අවස්ථාවක මහජනයා හමුදාවට එරෙහිව වීදී බැස්සේ නැත. නමුත් මෙවර ඉම්රාන්ගේ ආධාරකරුවෝ හමුදාවට එරෙහිව කැරලි ගසන්නට විය. ඇත්තෙන්ම පාකිස්තානය මෙහෙයවන්නේ සිවිල් ආණ්ඩුව නොව හමුදාව බව ප්‍රකට කරුණකි. එහෙත් මෙලෙස හමුදාවට එරෙහි ජනතා විරෝධයක් කිසිදා සිදුව නැත. මේ විරෝධතා ඉන්දීය මාධ්‍ය වඩා කුල්මත්ව වාර්තා කරනු දක්නට ලැබිණි. පාකිස්තානය අස්ථාවර වනු දැකීම ඉන්දියානු බ්‍රාහ්මණයන්ගේ එකම ප්‍රාර්ථනය බව රහසක් නොවේ. එය වෙනම කතාවකි. එහෙත් මැයි 09 වැනිදා සිදුවූ සිදුවීම් පාකිස්තානය ස්ථාවර කිරීමට නොව අස්ථාවර කිරීමට හේතුවන බව නොකියාම බැරිය. හමුදාව නැතිව පාකිස්තාන රාජ්‍යය පවතින්නේ නැත.

කවරක් නමුත් දූෂණ චෝදනා මත හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේ තීන්දු කර තිබිණි. ඒ අනුව ඉම්රාන් නිදහස් කරනු ලැබුවත් නැවතත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව එරට මාධ්‍ය කියයි. හමුදාව නම් ඉම්රාන්ගේ දේශපාලනයට කොහෙත්ම කැමති නැත. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඉම්රාන්ට අගමැති තනතුර අහිමි වූයේද හමුදාවේ කැමැත්ත ඔහුට අහිමි වූ නිසාය. 2018 වසරේදී හමුදාවේ වඩා හිතෛෂී පුද්ගලයා ලෙස සැලකූ ඉම්රාන් ඛාන් මෑතක දී ඔවුන්ට ශාපයක් ලෙස මතු විය. 2018 නොවැම්බරයේදී, පන්ජාබ් ප්‍රාන්තයේ ඉන්දියාව සමඟ නව දේශසීමා හරස් මාර්ගයක් විවෘත කිරීමේ උත්සවයකදී දී ඉම්රාන් ඛාන් කියා සිටියේ තම රජය, සියලුම දේශපාලන පක්ෂ හා ආයතන සහ හමුදාව “එකටම” සිටින බවයි. 2020 දී, අල් ජසීරා සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, ඔහු හමුදාව සමඟ “වඩාත්ම සුහද සම්බන්ධතාවක්” ඇති බවට ඔහුගේ ප්‍රකාශය නැවත අවධාරණය කළේය.

ඉම්රාන්ගේ ආණ්ඩුව ජනතාවට නිසි සේවයක් කිරීමට අසමත් වීම විපක්ෂයේ විරෝධතා උත්සන්න වීම සමග බලවත් හමුදාව අගමැති කෙරෙහි කලකිරීමට පත් වූ විට සියල්ල ටිකෙන් ටික වෙනස් විය. වැදගත්ම දෙය නම් හිටපු හමුදාපති ජෙනරල් බජ්වා සහ ලුතිනන් ජෙනරාල් ෆයිස් හමීඩ් අතර විරසකයක් වර්ධනය විය. ෆයිස් හමීඩ් ඉම්රාන්ගේ හිතවතා විය. ලුතිනන් ජෙනරාල් හමීඩ් ඔහුගේ හමුදාපති අපේක්ෂාවන් ගැන කෙතරම් විශ්වාසයෙන් සිටියාද යත්, ඔහු අසල්වැසි ඇෆ්ගනිස්තානයේ නිලධාරීන්ට පවසා තිබුණේ හමුදාව භාරව සිටින මීළඟ පුද්ගලයා තමා බව ය.

ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරු බලය අල්ලා ගැනීම පිටුපස විශේෂ කාර්යභාරයක් සිදුකෙළේ ජෙනරාල් හමීඩ් වේ. නමුත් 2021 ඔක්තෝබර් මාසයේදී අන්තර් සේවා බුද්ධි අංශයේ (අයිඑස්අයි) නව අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් සහ පාකිස්තාන හමුදාව අතර ගැටුමක් මතු විය. ඛාන්ට අවශ්‍ය වූයේ ලුතිනන් ජෙනරාල් ෆයිස් හමීඩ් දිගටම එම තනතුරේ සිටීමයි. ඒ ඉදිරි මැතිවරණයේ ජය තහවුරු කර ගැනීම පිණිසය. නමුත් 2021 නොවැම්බර් මාසයේදී ලුතිනන් ජෙනරාල් නදීම් අන්ජුම් හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පත්කරනු ලැබුවේ අගමැතිගේ මතය ඉවත දමමිනි. කෙසේ වෙතත්, හමුදාවට සමීප එක් ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණේ ලුතිනන් ජෙනරාල් හමීඩ් දේශපාලනඥයන්ට බලපෑම් කිරීම හෝ විවේචකයන් නිහඬ කිරීම වැනි “දූෂිත ක්‍රියා” ඵලදායි ලෙස හැසිරවිය හැකි අයෙකු ලෙස සලකනු ලැබුවද, “හමුදාව මෙහෙයවීමට” සුදුසු අයෙකු ලෙස නොසැලකෙන බවයි. ඉම්රාන් අගමැති හා හමුදාව අතර ගැටුම උත්සන්න වන අවස්ථාවක මාධ්‍යවේදියෙකු හමුදා බුද්ධි අංශ ප්‍රධානියා පත් කිරීම ගැන හිටපු හමුදාපති බජ්වාගෙන් ප්‍රශ්න කර තිබිණි. එහිදී ඔහු “මම තමයි ප්‍රධානියා,” අපේ කාලය අවසන් වෙන්නේ කවදාද කියලා මම තීරණය කරන්නම්” යනුවෙන් පවසා තිබිණි. ඒ පිළිතුර අනුවම අගමැතිට හමුදාවට අතපෙවීමට කොහෙත්ම බැරි බව පෙනිණි.

ඇත්තෙන්ම මේ ගැටුම අවසාන වූයේ ඉම්රාන්ට සිය අගමැති තනතුරද අහිමි කරමිනි. පසුව ශේබාෂ් ෂරිෆ් ගේ ආණ්ඩුව නව හමුදාපති ලෙස පත්කරනු ලැබුවේ ඉම්රාන් ඛාන් අකැමැති ජෙනරාල්වරයෙකි. ඔහු ජෙනරාල් අසීම් මුනීර් වේ. තමා මැයි 09 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේද කෙළින්ම හමුදාපතිගේ උපදෙස් මත බව ඉම්රාන්ම පවසා තිබිණි. බීබීසී වාර්තාකරුවෙකු සමඟ කතා කරමින් ඛාන් වැඩිදුරටත් මෙලෙස පවසා තිබිණි. මේ අත්අඩංගුවට ගැනීම පිටුපස සිටින්නේ එක් මිනිසෙකි. ඒ හමුදා ප්‍රධානියා. හමුදාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. මේ සිදුවන දෙයින් හමුදාව අපකීර්තියට පත්වෙනවා යුද හමුදාපති කනස්සල්ලෙන් ඉන්නේ මම බලයට ආවොත් ඔහුට ප්‍රශ්නයක් වන නිසා මේ සියල්ල සිදුවන්නේ ඔහුගෙන් සෘජු නියෝග මතයි. හිටපු අගමැතිවරයා ඉස්ලාමාබාද් නුවරදී අත්අඩංගුවට ගත් රේන්ජර් නම් අතුරු හමුදාවට අණ ලැබෙන්නේද හමුදාපතිගේ නියෝග හරහාය.

ඉම්රාන් ඛාන් 1970 දශකයේ සිට දශක දෙකක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ට ක්‍රීඩකයෙකි. ඔහු සිය පෞරුෂත්වය හා ප්‍රජා සේවය ලොව පුරා කීර්තියක් ලබා ඇත. පාකිස්තානයට 1992 වසරේ ලෝක කුසලානය දිනා දුන් නායකයා ඉම්රාන් ඛාන් බව නොරහසකි. 1992 මාර්තු මාසයේ 25 වැනිදා ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවරදී එක්දින ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ඔහු මිලියන ගණනාවක ක්‍රීඩාලෝලීන් හමුවේ ප්‍රකාශ කර සිටියේ කුමක්ද?

“මගේ ලෝකයේ සිහින දෙකක් තිබුණා. එකක් පිළිකා රෝගයෙන් මෙලොව හැර ගිය මගේ ආදරණීය මව වෙනුවෙන් ජනතාවට පිළිකා රෝහලක් ඉදිකරදීම. අනික මගේ නායකත්වයෙන් පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානයක් අත්කර දීම. මේ සිහින දෙකම මගේ ජීවිතයේ සැඳෑ සමයේදී සැබෑ කරගැනීමට මට හැකියාව ලැබුණා.” ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනය, දේශපාලනය හා ආර්ථිකය පිළිබඳ උපාධිධාරියකු වන ඉම්රාන් ඛාන් එවකට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සිටි එකම උපාධිධාරියා ද වූයේය. එක අවස්ථාවක ඉම්රාන් සිය කණ්ඩායම සමග ඉන්දියාවේ කළ සංචාරයක් අතරතුර බොලිවුඩ් සිනමාවේ රංගනයට එක්වන්නැයි ඇරයුම් කළ චිත්‍රපට නිෂ්පාදකවරුන් ද විය. ඒ සියලු ඇරයුම් ඔහු ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඇයි ඉන්දියාවට නළුවන්ගේ අඩුවක් තිබෙනවා දැයි සරදම් කරමිනි. ඔහු 2018 වර්ෂයේ ජුලි මාසයේ සිට 2022 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා පාකිස්තානයේ අගමැතිවරයා ලෙස ක්‍රියා කළේය. අගමැති ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු, ඉම්රාන් ඛාන් කඩිනම් මැතිවරණයක් ඉල්ලා විරෝධතාවල නිරත විය. මැතිවරණය මේ වසර අග දී පැවැත්වීමට නියමිතය. පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ වුවද, මිලියන 230ක ජනගහනයක් සහිත පාකිස්තානය තුළ ඉම්රාන් ඛාන් අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටියි. නමුත් හමුදාව ඔහුට අකැමැතිය. පසුගිය නොවැම්බරයේදී නැගෙනහිර වසිරාබාද් නගරයේ විරෝධතා පාගමනක් පවත්වමින් සිටිය දී ඉම්රාන්ගේ රථපෙළට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවාගැනීමට හිටපු අගමැති සමත්විය. ඔහුගේ රථයට එල්ලවූ වෙඩි ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ පාදයට තුවාල සිදුවිය. මින් එක් අයෙකු මියගිය අතර, අවම වශයෙන් තවත් පස්දෙනකු තුවාල ලබා තිබිණි. ඉම්රාන් මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ හමුදාව බව චෝදනා කරයි. මේ සිද්ධියට සම්බන්ධව පාපොච්ඡාරණය කරන පුද්ගලයෙකුගේ වීඩියෝවක් එරට පොලිසිය විසින් නිකුත්කර තිබුණු අතර වෙඩික්කරු පවසා තිබුණේ “ඔහු මිනිස්සුන්ව නොමඟ යවනව. මට ඔහුව මරන්න ඕනෙ වුණා. මම මරන්න හැදුවා,” යනුවෙනි. ආර්ථික වශයෙන් අස්ථාවර පාකිස්තානය මේ බල අරගලය නිසා තවත් අර්බුදයට ලක්වන බවනම් නොකියාම බැරිය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment