උත්තම පුරුෂයෝ ලොව දුර්ලභ වෙති….

587

“දුල්ලභෝ පුරිසා ජඤ්ඤෝ
නසෝ සබ්බත්ථ ජායතී,
යත්ථ සෝ ජායතී ධීරෝ
තං කුලං සුඛමේධතී…”

“ලොව සෑම තැනම සෑම කල්හීම උත්තම පුරුෂයෝ පහළ නොවෙති. යම් තැනක, යම් කලෙක උත්තම පුරුෂයෙක් උපදීද ඒ තැනැත්තා තම රටට, ගමට, පවුලට, අභිවෘද්ධියක්ම ගෙනදෙන්නේය…..”

බෞද්ධ සූත්‍ර ධර්ම සාහිත්‍යයේ ඛුද්ධක නිකායට අයත් බුද්ධ වංස පාලියේ සඳහන් බුද්ධ වචනයක් පූර්විකා කොට ගත්තේ, අප අතර සුජීවමානව සිටින “උත්තම පුරුෂයෙකු” පිළිබඳ කෙටි සටහනක් තබන්නටය.

ඒ උත්තම පුරුෂ රත්නය නම් “සිරි රණසිංහ” නමින් ලෝ පතළ අපගේ කථානායකයාණන් වූ “බෝසත් ගුණ දරන” සහෘදෝත්තමයාණෝය. “බෝසත් ගුණ දරන” යන නාම විශේෂණය අප යොදනුයේ මේ ලිපියේ අලංකාරෝක්තියක් පිණිස නොව සැබෑම බෝසත් ගුණ සිරිරණසිංහ චරිතය තුළින් ජීවමාන වන නිසාම බව එතුමන්ට ගෞරව පිණිස මෙහිලා සඳහන් කරමි.

විසිවන සියවසේ මධ්‍ය භාගයේ දි පමණ දකුණුලක රුහුණු රටෙහි මුලටියන ප්‍රදේශයේ දෙයියන්දර නම් වූ ඓතිහාසික වූත් අතිශය රමණීය වූත්, සුන්දර ග්‍රාමවරයෙහි මේ ලොව දර්ශනය කරන සිරිරණසිංහයෝ, සිංහල බෞද්ධ සභ්‍යත්වයේ සාරයෙන් මැනවින් පෝෂිත වූ “රණසිංහ” කුලපරම්පරාව උරුම කොට ගනිමින් ද දකුණු ලක අදීන සීහළත්වයේ දායාදය මාපිය උභය පාර්ශ්වයෙන් නිරායාසවම හිමි කර ගනිමින් ද, ජන්මයෙන් ම ලද පූර්ව කෘත පුණ්‍ය බලයෙන් ලද වාසනා ගුණ මහිමය හිස, ළය, දෑත දරමින් ද, ළදරු, ළමා, තරුණවිය කෙමෙන් ගෙවමින් දිනෙන් දින වැඩෙන වනස්පතියක පරිද්දෙන් අප අතරේ විරාජ මාන වූහ.බුදුරදුන් වදාළ පරිදිම උත්තම පුරුෂයෙකුගේ පහළ වීම එම රටට ගමට පවුලට සම්පත්තියක්ම වන බව අසූ විය සපුරා සිටියදීත් සිරි රණසිංහයෝ අපට සනාථ කරමින් සිටිති. සිය සහජ බුද්ධි මහිමයත්, උගත් ශිල්ප ශාස්ත්‍රයන්ගෙන් ලත් පන්නරයත්, වෘත්තීය කුසලතාවත්, තැන්වැසි නුවණත්, ආත්මීය සංවර භාවයත්, බොදු හැදියාවත්, කාර්යශූරභාවයත්, මනා වූ චරිත ස්වභාවයත්, මෛත්‍රී, කරුණාදී මානව ගුණ ධර්මත්, ආත්මීය ශික්ෂණයත්, විධග්ද සමාජානුයෝජනයත්, සුපසන් යතිවර ඇසුරත්, අපේකම නම් වූ සුවඳ විඳගන්නා වූ හදවතත්, ආදී වූ අනේකවිධ චරිතායනයන්ගෙන් සෝභමාන වූ අසහාය පෞරුෂයෙන් උපලක්ෂිත සිරි රණසිංහයන් බෝසත් ගුණෝපේත යැයි මා කියන්නේ කරුණු සහිතව ම ය.

දෙයියන්දර කලුගල පුරාණ විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදෙන මෙතුමාගේ මූලිකත්වයෙන් අරඹා දැනට වැඩ නිමවා ඇති දෙමහල් ධාතු මන්දිරය සහිත නව ධර්ම ශාලා ගොඩනැගිල්ල අප විහාරස්ථානයට අනභිභවනීය භාවයක් මෙන්ම අසිරිමත් බවක් ද ගෙන දෙන්නකි. විහාරස්ථ උඩ මළුවේ මෙතුමන් විසින් ඉදිකරවන්නට යෙදුන දොළොස්මහේ පහන වෙනත් තැනකදී දැකිය නොහැකි විශේෂතා එක් කරමින් අප විහාරස්ථානයටම නව ආලෝකයක් ගෙන දෙමින් ඉදිකළ මාහැඟි නිර්මාණයකි.

අප විහාරස්ථානයේ ඉමහත් අඩුපාඩුවක්ව තිබූ “දහම් පාසල” ආරම්භ කිරීමට පුරෝගාමී වූවා පමණක් නොව එහි නිරන්තර දියුණුවට ඇපකැපවී සිය කාලය, ධනය, ශ්‍රමය හා කුසලතාවත් නිරන්තරයෙන් යොදවා අද වනවිට අප ශ්‍රී මණිරතන දහම් පාසල මේ ප්‍රදේශයේ ආගමික, සංස්කෘතික, ප්‍රබෝධයේ මූල බීජය බවට පත් වෙමින් අනාගත පරපුරට ධර්මාලෝකය සපයමින් සිටී. දහම් පාසල සඳහා අවශ්‍ය වූ අනේකවිධ භෞතික සම්පත් හා මානව සම්පත් ද ළඟා කර දෙමින් ඉමහත් පරිශ්‍රමයක් ඒ වෙනුවෙන් දක්වා ඇති බව කෘතවේදීව සඳහන් කිරීම මාගේ යුතුකමක් වශයෙන් සලකමි.

ශ්‍රී ලංකාවේ අද්විතීය පුවත්පතක් වූ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරය වැනි භාරධූර වගකීමක් දරමින් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ කරනා වූ අනුපමේය සේවාව හේතු කොට ගෙන එයින් තමා පමණක් තෘප්ත නොවී තම ගමට, ප්‍රදේශයට, ගමේ පන්සලට, ඉටුකළ හා ඉටුකරමින් සිටින කුදු මහත් යුතුකම් හා සේවා අනල්පව සිදු කරමින්, ස්වාර්ථ පරාර්ථ චර්යාවේ නිමග්න මෙතුමා, “මගමානවක” බෝසත් චරිතය ජීවමාන කරවන අයුරු නිසාම “බෝසත් ගුණ ධාරී” ලෙස අප දැක්වූ විශේෂණය යථාර්ථයක් මිස ප්‍රලාපයක් නොවන බව ප්‍රදේශවාසී සුවහසක් ජනීජනයා විසින් ද සපථ කරනු ලබන සත්‍යයකි. විහාරස්ථානය පමණකුදු නොව දෙයියන්දර ගම වෙනුවෙන්ද ප්‍රදේශය වෙනුවෙන් ද කරනු ලබන හා කළ සේවාවන් අතර, නවීන මංමාවත් ඉදිකරවීම පාසල් ගොඩ නැගීම්, රෝහල් දියුණු කරවීම්, ආදී පොදුජන සේවාවන් රාශියකි. සුදුසුකම් ඇති එහෙත් අවස්ථා නොලද ප්‍රදේශවාසී තරුණ තරුණියන් විවිධ ක්ෂේත්‍රවල සේවා නියුක්ත කරවමින්, අසහාය නායකත්වයක් ලබා දෙමින් මෙතුමා කරන සමාජ මෙහෙය උපමා රහිත ය. කලුගල පුරාණ විහාර ය අද යම් බඳු වූ ආලෝකයක්, ප්‍රභවයක් විහිදවයි ද එහි පුරෝගාමී ගෘහස්ථ ගාමක බලය වූයේ සිරි රණසිංහ නම් වූ මෙකී ප්‍රතාපවත් චරිතය යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවන්නේමය.

ජාතික, ආගමික, අධ්‍යාපනික, ආර්ථික, ශාසනික, සාමාජික ආදී සෑම ක්ෂේත්‍රයකටම පැතිරී ගිය පුළුල් සමාජ සේවාවක් මෙතුමාගෙන් මෙම ප්‍රදේශයට තවමත් සිදු වෙමින් පවතී. එය එතුමා උපන් ගමට රටට දැයේ පිනෙන් ලද වාසනාවකි.

“යත්ථ සෝ ජායතී ධීරෝ
තං කුලං සුඛ මේධති”

යැයි අප මුලින් දැක්වූ බුදු වදන යථාර්ථයක් බව මෙහිදී සිහිපත් කළ යුතුය. මෙවන් උත්තම පුරුෂයන් ලොව දුර්ලභ යැයි බුදුරදුන් වදාළේ ද මේ නිසා යැයි සිතෙන තරමට මෙතුමා අද්විතීය චරිතයකට පණ පොවමින් සිටී. එය අපගේ මතු නොව මේ රටේ ද වාසනාවකි, භාග්‍යයකි, අසූ වස් සපුරන සිරි රණසිංහ මැතිඳුනි, ඔබ සසුනට, දැයට, රටට, ගමට, පවුලට, සෞභාග්‍යය ගෙනෙන ජීවමාන කප්රුකකි, භද්‍ර ඝටයෙකි, චින්තා මාණික්‍ය යකි, යැයි අපගේ කීම කරුණු සහිතවම කියන්නක් බැවින් හුදෙක් එය ස්වභාවෝක්තියක්ම බව ප්‍රත්‍යක්ෂවම දන්නා කෙනෙකු වශයෙන් දක්වමි.
(හෙට පැවැත්වෙන උපහාර පිදුම නිමිත්තෙනි)
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ
මාතර මහදිසාවේ මොරවක් කෝරළේ ප්‍රධාන අධිකරණ නායක,

දේවාලේගම මහින්ද සාර මහා ස්ථවිර.

advertistmentadvertistment
advertistmentadvertistment