ඒ ලද පරාජය අපට තරම් නොවේ… – ශ්‍රී ලංකා නායක දසුන් ශානක කියයි

474

තරගයක් පරාජය වීම සාමාන්‍ය තත්ත්වයක් වුවද ඇෆ්ගනිස්තානය හමුවේ පෙරේදා (27 වෙනිදා) ලද දරුණු පරාජය තරම් පරාජයක් ශ්‍රී ලංකාව වැනි කණ්ඩායමකට සුදුසු නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියේය.

පළමු කඩුලු 3 පළමු පන්දු වාර දෙක තුළදී දැවී යෑම කණ්ඩායමට ප්‍රබල පාඩුවක් වූ බවද එම කඩා වැටීම නතර කරන්නට මැද පෙළටද නොහැකි වීම ශ්‍රී ලංකාවේ පරාජයට හේතුව වූ බවද ශ්‍රී ලංකා නායකයා ප්‍රකාශ කර සිටියේය.

මෙතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකා පිතිකරුවන් දැවී යෑම අනුව අපේ පිතිකරුවන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ඔවුන් ගේ පන්දු යවන්නන් කෙතරම් දුරට අධ්‍යයනය කර තිබේ ද යන ප්‍රශ්නය මතු වන බවද ශ්‍රී ලංකා නායකයා පැවසීය.

‘අපේ පිතිකරණ අංශය අවුල් වුණා. ඔවුන් කෙතරම් දුරට ඇෆ්ගනිස්තාන කණ්ඩායම පිළිබඳව අවධානය යොමු කළා ද කියන ප්‍රශ්නය මෙතනදී මතු වෙනවා. අපේ මැද පෙළත් අසාර්ථක වුණා. විශේෂයෙන් මටත් ලකුණු අතරට එන්නට නොහැකි වුණා. එසේ නොවුණා නම් අවසන් ලකුණු සංඛ්‍යාව මීට වඩා වෙනස් වෙන්න තිබුණා.”

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ගේ මතභේදාත්මක දැවී යාමට අදාළව මාධ්‍ය විසින් නඟන ලද පැනයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේ, තමා ගේ අදහස නම් එය නොදැවී යෑමක් බවයි.

‘දැන් තාක්ෂණය ඉතා දියුණු මට්ටමක තිබෙනවා. එහෙම දියුණු තාක්ෂණයක් තිබියදීත් පැතුම්ට ලැබුණු තීරණය ගැන අපි පුදුම වුණා. රූපවාහිනි දර්ශනවල ඒ බව පැහැදිලිව දක්නට ලැබෙනවා. මගේ අදහසට අනුව නම් එය නොදැවී යෑමක්.’

මෙම තරගය පරාජයට පත් වුවද තරගාවලියේ ඉතිරි තරගය වන බංග්ලාදේශය සමග තරගය ජය ගැනීමට හැකි වනු ඇති බවට තමාට විශ්වාස බවද ශ්‍රී ලංකා නායකයා සඳහන් කළේය. ලෝක මට්ටමේ පන්දු යවන්නන් ඔවුන් සතුව නොමැති වීමේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට යහපත් ලෙස බලපානු ඇති බවද පීඩනය හසුරුවා ගෙන එම තරගය ජය ගැනීමට අවධානය යොමු කර තිබෙන බවද ශ්‍රී ලංකා නායකයා පැවසීය.

කුෂාන් සුබසිංහ ඩුබායි සිට
 

advertistmentadvertistment
advertistmentadvertistment