ඔව්… අවුරුදු කුමාරියක් ඕනෑ!

394

අතීතයෙන් පාඩම් උගෙන අනාගතයට යන්න අපි පුරුදු වෙලා ඉන්නවා. ඒ ගමන් මගේදී වර්තමානයේ අපි විසින් කරන ලොකුම වරද ආකල්ප සංවර්ධනයක් සිදු කොට නොතිබීමයි. ඉන් කියැවෙන්නේ හරි අවබෝධයකින් තොරව කටයුතු කරනවා යන්නයි.

ඔව්... අවුරුදු කුමාරියක් ඕනෑ!
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ
කථිකාචාර්ය ආචාර්ය ප‍්‍රියදර්ශනී පේ‍්‍රමරත්න

මෙය සිංහල අලුත් අවුරුද්දට පැවැත්වෙන අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගය සමග ගලපන්න මම උත්සාහ කරනවා. මොකද මෙය කතා කළ යුත්තක්. අපට ප්‍රෞඩ ඉතිහාසයක් තිබෙනවා. සිංහල හින්දු අලුත් අවුරුද්ද අතීතයේ සැණකෙලියක්. ගමක බැඳීම්, හිතමිතුරුකම් වර්ධනය වන මොහොතක්. අවුරුදු උත්සවයක් තියන්නෙත් ඒ අසිරිය තවත් වැඩි වෙලා,

ගම්වැසියන්ගේ ඒ ඒ වයස් අනුව කාය ශක්තිය, දරා
ගැනීමේ ශක්තිය එකමුතුව ලාලිත්‍යය මේ හැම දෙයක්ම අවුරුදු උත්සවයත් සමග බැෙඳනවා. මේ අතරින් කතාබහට ලක්වන තරගයක් වෙන්නේ අවුරුදු කුමරිය සහ අවුරුදු කුමරා තේරීම.

ඒ ඒ කාලය අනුව, ගමේ සිටින සුන්දර යුවතියන් වගේම තරුණයන් බොහොම උනන්දුවෙන් ලස්සනට හැඩ වෙලා මේ තරගයට ඉදිරිපත් වෙනවා. ඇය හෝ ඔහු ගමේ කතාබහට ලක්වෙනවා. දිනන අය පමණක් නෙවෙයි, තරගයට ඉදිරිපත් වන සියලු දෙනාම පාහේ ගම තුළ ඉස්මතු වෙනවා. මෙය ඒ ඒ දරුවන්ගේ ඉදිරි
ගමනට රුකුලක්.

අතීතයේ වුවත්, මේ දරුවෝ කුලෑටි කම් අතෑරලා නායකත්වයට පණ පොවලා ඉදිරියට ගිය බවක් දක්නට ලැබුණා. ඔය අතරින් ඇතැමුන් නම් උපන්ගෙයිම මියැදුනා වගේ නිහඬව තමන්ගේ පාඩුවේත් හිටියා. නමුත් මේ තරගාවලියේ පුද්ගල බද්ද මෙන්ම සමාජ බද්ද පැතිකඩ අපි අවබෝධ කර ගැනීම වැදගත්.

අවුරුදු කුමරිය සහ කුමරා ලෙස කිරුළු පළඳින තරුණ තරුණියන් බොහොමයක් දෙනා පසුකාලීනව නිරූපන ක්ෂේත‍්‍රයට එක්කාසු වෙනවා. නැතිනම් තමන්ගේ රුවෙහි ලාලිත්‍ය හැඩ මත වෙළෙඳ දැන්වීම් නිරුපිකාවක් බවට පත්වෙනව. ඒ තුළ රැුඳීමේදී හොඳ නරක අවබෝධයෙන් කටයුතු කිරීම ඒ ඒ තරුණ තරුණියන්ගේ වගකීමක්.

මේ කාලය අවුරුදු කුමරා සහ කුමරිය සඳහා වෙළෙඳපොළක් නිර්මාණය වෙලා තිබෙනවා මාධ්‍ය හරහා. මාධ්‍ය සංදර්ශන ඒ ඒ නාලිකා අතර තරගය මේ සියල්ලක්ම මේ වන විට සමාජගත වෙලා. නමුත් හොඳින් මතක තබා ගතයුතුම කාරණය තමයි මෙය අතීතයෙන් අපි රැුගෙන ආ සංස්කෘතික අංගයක් බව. එයින් සිදුවන්නේ දක්ෂතා ඇති තරුණ තරුණියන්ට සමාජ ගතවීමට ඉඩ ප‍්‍රස්ථා ලැබෙන බව.

ඇතැම් අවස්ථාවල අවුරුදු කුමරියගෙන් හෝ කුමරාගෙන් අරඹන ගමන් මග ජාත්‍යන්තරයට යෑමට ඉඩ සැලසෙන මාර්ග උදා වෙන බව පෙනෙනවා. එය දක්ෂතාවය මතම සිදුකර ගැනීමට තරම් මේ තරුණ පිරිස් අවබෝධයෙන් වැඩ කළ යුතු වෙනවා.

මොකද අද සමාජය විවිධයි විෂමයි. අතීතයේ ඇතැම් සිදුවීම් සමග ගළපන කළ, අවුරුදු කුමරිය ලෙස කිරුළ පැළැඳි තරුණියන්ගේ ජීවිත අකාලයේ මිලිනව

ගිය හැටි අපට මතකයි. මනම්පේරි ඝාතනය වැනි සිදුවීම් ඔස්සේ අපට අඟවන්නේ මේ සමාජයේ ජඩ කම. ඇතැම් විට බලපුළුවංකාරකමේ හයිය, නැතිනම් දේශපාලන හයිය වගේ කාරණා. තරුණ ජීවිත නිරපරාදේ බිලිවන්නේ ඒ ඒ අරමුණුවලට යෑමේදියි. මොකද මේ සමාජයේ ඇතැම් පුද්ගලයන් තරුණියක් හෝ තරුණයෙක් ඉදිරියට ගන්න නම් ලිංගික අල්ලස් බලාපොරොත්තු වෙනවා. මුදල් අගහිඟකම් හෝ රැුකියාව සඳහා ඉඩ ප‍්‍රස්ථා අහිමිවේවි යන බියට මේ තරුණ පිරිසට සිදුවෙනවා මේ වචනවලට අවනත වන්න. එය ඉතා හොඳින් දන්නා පිරිස් මේ දරුවන් ගේ ජීවිත වනසන්නේ සිත්පිත් නැතිව.

සිවිල් සමාජය තුළ, තමන්ගේ ගමන සාර්ථක කරගන්න කෙටි මාර්ග හොයන්න එපා. කිසිවකුගේ හයියක් නැතිව ඉදිරි ගමනක් නැහැ කියා සිතන්න එපා. තමන්ගේ දක්ෂතාවය සුන්දරත්වය එක මොහොතකින් වනසාගන්න හිතන්න එපා. මේ ලෝකය ඔබට විවෘතයි. සංයමයෙන්, අවබෝධයෙන්, ඉවසීමෙන් යායුතු බව සිතන්න. රටක සංස්කෘතික අංග ආරක්ෂා කරගන්න වගේම නිරූපන ක්ෂේත‍්‍රය මෝස්තර නිරූපන ශිල්පය ඉදිරියට ගෙනයන්න ලොකු පිරිසක් එකතු වෙන්න අවශ්‍යයි. මේ පිරිස කැපවීමෙන් වැඩ කළොත් ලෝකයක් දිනන්න පුළුවන්. ඊට උදාහරණ මේ ලංකාවෙත් ලෝකයේ රටවල් බොහොමයකත් තිබෙනවා.

නව අවුරුද්දේ අවුරුදු කුමාරියක් කුමාරයෙක් රටට පළාතට ගමට අවශ්‍යයයි. ඔවුන්ගේ ජීවිතයේ සුන්දර භාවය ආරක්ෂා කිරීමට ආකල්ප සංවර්ධනය වූ පිරිසක් ලෙස, ඒ ඒ තරුණ කොටස්වලට වගේම, සමස්ත ලංකාවාසීන්ටම වගකීමක් තිබෙන බව සිතන්න.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment