කජීමා වත්තේ පවුල් 214 කට  ගෙයක් ගන්න අවම සුදුසුකම්වත් නෑ

131

දේශපාලන මැදිහත්වීමෙන් වසරින් වසර  පවුල් පදිංචි කරලා

පසුගියදා ගිනි ගැනීමට ලක්වූ මෝදර මාදම්පිටිය, කජීමාවත්තේ පදිංචි පවුල් 214 ක් නිවසක් ලබාගැනීමට අවශ්‍ය අවම සුදුසුකම් සපුරා නොමැති බවට හඳුනාගෙන තිබේ. මෙම ඉඩම මින් ඉදිරියට අතරමැදි කඳවුරක් ලෙස පවත්වාගෙන නොයෑමටත් තීරණය වී ඇත.

කජීමාවත්ත ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලබාදුන් වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇත. ඒ අනුව නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ අනුමත ප්‍රතිපත්තිවලට අනුව ඔවුන්ට නිවාස ලබාදීමේ හැකියාවක් නැතැයිද එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

මෙම භූමිය අක්කර 05 කින් සමන්විත නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් බව හඳුනාගෙන ඇත. 2011 වසරේ ආරම්භ කළ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ එම ඉඩම්වල පදිංචි පවුල් සඳහා ස්ථිර නිවාස ලබාදෙන තෙක් අතරමැදි කඳවුරක් පවත්වාගෙන යාමට තාවකාලික පදනම මත මෙම වත්ත නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත්බව වාර්තාවේ සඳහන් වේ.

මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම් නිදහස් කර ගැනීමේදී අවතැන් වන පවුල් 275 ක් මෙම කජීමාවත්තේ තාවකාලිකව පදිංචි කරවා ඇත. මෙම පිරිසට නිවාස ලබාදී පසුව මෙම වත්ත නිදහස් කරගෙන ඇත.

ඉන්පසුවද අවස්ථා කිහිපයකදී මෙම අතරමැදි කඳවුරෙහි පවුල් ඒකක 50 ක් පමණ පදිංචි කරවා ඇති අතර 2014 වසරෙන් පසුව දේශපාලන මැදිහත්වීම් මත මෙම ඉඩමෙහි අනවසර පවුල් 291 ක් පමණ පදිංචිකරවා ඇත. 2015 ජනාධිපතිවරණයෙන් පසු විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් මෙම ඉඩමේ පදිංචිවී ඇති බවද වාර්තාවේ සඳහන්ව ඇතැයි උසස් නිලධාරියෙක් පැවැසීය. එම වසරේ ක්‍රියාත්මක කළ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ අනවසර පදිංචිකරුවන් සියලුදෙනාට නිවාස ලබාදී ඉඩම නිදහස් කරගෙන ඇත.

නමුත් 2016 වසරේ ජනවාරි මාසයේ සිට කජීමාවත්තේ නැවත අනවසර පදිංචිකරුවන් 291 ක් පදිංචි කරවා ඇත. එම පිරිස අතරින් සුදුසුකම් සපුරා ඇති පවුල් 57 කට 2019 වසරේදී නිවාස ලබාදී තිබෙන බවද මෙහිදී අලුත් පවුල් 20 කට පමණ නිවාස ලබාදීමට නියමිතව තිබූ බවද වාර්තාවේ සඳහන්ව ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment