හැටන් නුවරඑළිය වතු පාසල් රැසක සිසුන්ට අධ්‍යාපනය එපා වෙලා

345

ආර්ථික අර්බුදය නිසා බොහෝ දරුවෝ පාසල් වියේදීම රැකියාවල

හැටන් සහ නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නගරබද සහ වතු පාසල්  රැසක දරුවන් පාසල් නොපැමිණෙන බවට එම විදුහල්පතිවරුන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඇත.

රටේ පවතින ආර්ථික අර්බුදය සහ මේ මස 24 දාට එළඹෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් දෙමව්පියන් විසින් එම සිසු සිසුවියන් රැකියා සඳහා විවිධ ප්‍රදේශවලට යොමු කර ඇති බවත්, තවත් පිරිසක් වතු ආශ්‍රිත නගරවල වෙළෙඳසල්වල තාවකාලිකව රැකියා වල නිරතව සිටින බවටත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත.

9, 10 , 11 යන ශ්‍රේණිවල ළමයින් වැඩි පිරිසක් පාසලට නොපැමිණෙන බවත්, එම සිසු සිසුවියන්ට පොත්පත්, ආහාර සහ ගමන් වියදම් ලබාදීමට දෙමව්පියන්ට පවතින අර්ථික ගැටලු නිසාත් ළමයින් පාසලට නොඑවා රැකියාවල යොදවා ඇති බවත් පන්ති භාර ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විසින් කලාප අධ්‍යාපන කාර්යාලයට දන්වා තිබේ. ඇතැම් තේ වතු ආශ්‍රිතව පදිංචි වී සිටින දරුවන්ට පාසල විශාල දුරක් ඒමට සිදු වන නිසා දෙමව්පියන් පොදු ප්‍රවාහන පෞද්ගලික බස් රථ සේවාවක් මගින් එම ළමුන් පාසල වෙත යොමු කළද එම පොදු ප්‍රවාහන බස් රථ සඳහා මාසිකව ගෙවිය යුතු මුදල පවා ගෙවීමට නොහැකි වීමෙන් ඇතැම් දෙමව්පියන් ළමුන් පාසලට නොඑවා නිවසේ රඳවාගෙන සිටින බවද වතු ආශ්‍රිත දෙමාපියෝ කියා සිටිති.

එම සිසුන් පදිංචි ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන්ද පාසල් නොඑන සිසු සිසුවියන් හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතාවන් හැකි උපරිම මට්ටමින් විසඳා යළිත් පාසල් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය විසින් දිවයින පුරා සිදු කළ සමීක්ෂණයකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත පාසල් ළමුන් 7% ක් පමණ පාසලට නොපැමිණෙන බව එම සමීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.

නුවරඑලිය – නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment