කටුනායකට ආ උගන්ඩා කතගේ බඩේ කොකේන් ගුලි සීයක්

434

කොකේන් මත්ද්‍රව්‍ය රැගෙන මෙරටට පැමිණි උගන්ඩා ජාතික කාන්තාවක් ශ‍්‍රී ලංකා රේගුවේ, ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (15 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

ඇය උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා කටාර් ගුවන් සේවයේ අංක QR 664 ගුවන් යානයෙන් ඊයේ (15වැනිදා) පෙරවරු 9.00 ට මෙරටට පැමිණි තිබේ. වයස අවුරුදු 45 ක් වන මෙම උගන්ඩා ජාතික කාන්තාව සිය උදරයේ සඟවාගෙන මෙම කොකේන් රැගෙන විත් තිබියදී ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ ගේට්ටුවේ දී නවතා ප‍්‍රශ්න කිරීමේ දී ඇතිවූ සැකය මත මගීන් පරිලෝකනය කරන්න යන්ත‍්‍රය මගින් පරීක්ෂා කිරීමේ දී මෙම කොකේන් තොගය එම කාන්තාවගේ උදරයේ සඟවා තිබෙන බව රේගු නිලධාරීන් සොයා ගත් බවද ඒ මහතා කියා සිටියේය.

එම අවස්ථාවේ දී ඇය තම උදරයේ කොකේන් අඩංගු ගුලි 100 ඇති බව ප‍්‍රකාශ කර ඇති අතර මේ වන විට ඉන් ගුලි 51 ඉවතට ගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබීමෙන් පසුව මෙම කාන්තාව ශ‍්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දීමට නියමිත බවද සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප‍්‍රභාත් විතාන, ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment